කොළඹ වරාය නගරයේ පැවැති ඩීජේ සංගීත ප්‍රසංගයකට සහභාගි වී සිටි 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙක් කොළඹ වරාය පොලීසිය විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.
එම ව්‍යාපාරික තරුණයා ඝාතනය කිරිමේ සිද්ධියට තවත් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද අත්අඩංගුවට ගැනීමට සොයන මෙම හතර දෙනා අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑනා කෙනකුද සිටින බවට හඳුනාගෙන ඇතැයිද වාර්තා වේ.
මෙම තරුණ ව්‍යාපාරිකයාට පහර දෙන ආකාරය සීසීටීවී කැමරාවක රූප රාමු පරීක්ෂා කර බැලීමේදී සොයා ගැනීමට හැකි විණි යැයිද පොලීසිය සඳහන් කරයි. මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ, ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අක්රම් නමැති තරුණ ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි තරුණ ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියේ යැයි පොලීසිය පවසයි.
රුපියල් 5,000 සිට 50,000 දක්වා අතර මුදලකට ටිකට් පත් අලෙවි කර ඇති මෙම සංගීත ප්‍රසංගයට තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් සහභාගී වී සිට ඇතැයිද පැවැසේ.
කොළඹ වරාය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණි පවත්වයි.






