ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1,050ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
රජයේ මේ වසරේ දිනක ආදායම (ලැබීම්) රුපියල් කෝටි 653ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1,705ක් බවද මහාචාර්යවරයා පවසයි.
මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950ක් බව පවසන ඔහු ලබන වසරේ රජයේ වියදම කෝටි 2,160ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කරයි.
රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි වන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.
මේ අනුව ලබන වසරේදී රජයේ දිනක ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1,364 දක්වා ඉහළ යනු ඇතැයිද ඔහු සඳහන් කරයි.
රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි දිසාවකට ගමන් කරන ආකාරය ඉන් පෙන්නුම් කෙරෙන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
මේ අතර එක් පුද්ගලයකු වෙනුවෙන් රජය මේ වර්ෂයේ දී දිනකට ගන්නා ණය ප්‍රමාණය රුපියල් 473ක් බවත් එය පසුගිය වර්ෂයේදී පැවතියේ රුපියල් 371ක් වශයෙන් බවත් ඔහු පෙන්වා දෙයි.
රජයට ලබන වසරේදී එක් පුද්ගලයකු වෙනුවෙන් ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් 609ක් දක්වා වැඩිවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.
ලංකාදීප






