ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ලබා දී තිබූ බලපත්‍ර හදිසියේම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වන අතර බලපත්‍රයක් ලබාගැනීමේදී 1985 අංක 21 දරණ කාර්යාංශ පනත හා 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධිත පනත් වලට අනුව විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසා දීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීම වේ.
සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමග ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග කාර්යාංශය විසින් ගන්නා ලදී. එහිදී ගරු අධිකරණයෙන් වරදකරුවන්වීම හා අධිකරණය මගහැරීමටද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කාර්යාංශය කටයුතු කර ඇතැයි වාර්තා වේ.






