පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ තිබෙන විශාල වනාන්තරයක් සංවිධානාත්මක පිරිසක් විසින් ඩෝසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර ඇතුළු කර එම රක්ෂිතයේ වීර, පලු, බුරුත ඇතුළු වටිනා ශාක දින කිහිපයක සිට වනසමින් සිටින බව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි නියෝජිතයෝ චෝදනා කරති.
මේ පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ගොවි නියෝජිතයන් හා ගම්වැසියන් කිහිපදෙනෙකු විසි එක් වන දා රක්ෂිතයට යනවිටත් ඩෝසරයක් යොදා අහස උසට වැඩුණු වීර, පලු, බුරුත, මිල්ල ඇතුළු වටිනා ශාක ඩෝසර් කරමින් සිටින ආකාරය අපට දැකගත හැකි විය.
එම රක්ෂිතය විනාශ කිරීමත් සමඟ එහි සිටින මුවන්, ගෝනුන්, අලින් ඇතුළු අනෙකුත් සතුන් ගම් වැදී තමන්ගේ ජීවිත දේපළට හානි කරන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ප්‍රදේශයේ මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම රක්ෂිත ඉඩම් අක්කර 1,500ට වැඩි ප්‍රමාණයක් බඩඉරිගු වගාව සඳහා ආයෝජකයන්ට ලබා දී ඇති බව ත් ඔවුන් හිතුමනාපයේ මෙම රක්ෂිතය වනසා විශාල ජාවාරමක් සිදු කරන බව ත්, අසල පිහිටි රක්ෂිතයට තමන්ට උදලු මිටක්වත් කපා ගැනීමට යාමට ඉඩ ලබා නොදෙන අවස්ථාවක කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඩෝසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර දමා වටිනා රක්ෂිත විනාශ කිරීම විමතියට කරුණක් බවත්, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි සූරියවැව හිටපු ගොවි සංවිධාන සභාපති එස්.ඒ සමරසිංහ විමසීය.
ඩෝසර් දමා විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් හැටියට නම් කර ඇති බවත් සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන් කරනු ලබන්නේ මෙම රක්ෂිතය හරහා බවද ගම්වාසීහු සඳහන් කරති.
මෙම රක්ෂිතයේ විනාශය පිළිබඳ අප මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීරගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී තමන්ට එම භූමිය අයත් නොවන බව පැවසීය.
ඉන් අනතුරුව අප මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන්ගෙන් කළ විමසීමකදී, විනාශ වෙමින් පවතින්නේ අලි සංක්‍රමණය වන රක්ෂිතයක් බවත්, මෙම තත්ත්වය නිසා අලි, මිනිස් ගැටුම උග්‍ර වීමේ විශාල අවදානමක් පවතින බවත් ඒ තුළින් ජීවිත හා දේපළ හානි සිදුවිය හැකි බවත් සඳහන් කළේය.
ප්‍රදේශයේ සංඝරත්නය සහ ගොවි ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බවත් තමන් වනජීවී වෘත්තීය සංගමයේ සභාපතිවරයා හැටියට මෙම විනාශය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය.
මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන විටත් තිබූ මෙම වනාන්තරය කිසිදු අවස්ථාවක හෙළි පෙහෙළි කර නැතැයිද, මහවැලියට අයත් මෙම ඉඩම් හෙළි පෙහෙළි කරන්නේ නම් පරිසර වාර්තා ලබාගත යුතු නමුත් එවැන්නක් මේ වනතුරු සිදුකර නැතැයිද සභාපතිවරයා කීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ රටේ සියලු වනජීවීන් රැකීම යැයි කී ඔහු, එය වනසතුන් සඳහා රැක දීමට තම සංගමය අද හෙටම නීතියේ පිළිසරණ පතන බවද කීය.
එම රක්ෂිතය ඩෝසර් දමා විනාශ කරන ආයෝජකයෙකු, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා තමන් ඇතුළු විසි නව දෙනෙකුට හෙක්ටයාර් 49 බැගින් එම ඉඩම් බඩඉරිඟු වගාව සඳහා ලබා දී ඇති බවත් එය නතර කිරීමට නම් දේශපාලන අධිකාරියත් ප්‍රදේශයේ ගොවි ජනතාව මෙන්ම මහා සංඝරත්නයත් මෙම ඉඩම් ලබාගෙන ඇති ආයෝජකයන් අතර සාකච්ඡාවක් කළ යුතු බවත් පැවසීය.
මව්බිම






