“හොරු කණ්ඩායමක් සමඟ ඉන්න ගමන් හොරු හිරේ දානවා කියලා රනිල්ට කියන්න බැහැ. රනිල්ගේ අයවැය ප්රකාශය දූෂිතයන්ට උඩගෙඩි දෙනවා,” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක පවසයි.
“හොර මැරකම්වලට දඬුවම් දීමෙන් පමණක්ම රට ගොඩගන්න බැහැ තමයි. හැබැයි එහෙම නොකර රට ගොඩගන්න හිතන්නවත් බැහැ කියලා රනිල්ට අපි කියනවා.” යැයිද ඔහු කියා සිටී.
“වංචා දූෂණවලට දඬුවම් දීමෙන් පමණක් රටක් ගොඩනැගිය නොහැකි බව රනිල් අයවැය කතාවේදී ප්රකාශ කළා. ඔහුට කිසිසේත්ම දූෂිතයන්ට දඬුවම් දීමට හෝ දූෂණ නතර කිරීමට කටයුතු කරන්න බැහැ. මොකද ඔහු හිටගෙන ඉන්න කඳවුර අන්ත දූෂිත කඳවුරක්. මහ බැංකුව සුද්ද කරපු කණ්ඩායමේ නායකයා රනිල් වික්රමසිංහ. ඊට එරෙහිව නීතිය ක්රියාත්මක වුණේ නැහැ.
නමුත් අපි පිළිගන්නවා දූෂණයට හා වංචාවට දඬුවම් දීමෙන් පමණක් මේ වැටුණු රට ගොඩගන්න නොහැකි බව. නමුත් දූෂණය හා නාස්තිය නතර නොකර කොහොමවත් රටක් හදන්න බැහැ. ඔහුගෙන් එවැනි ප්රකාශයක් එළියට පැමිණීම අරුම පුදුම දෙයක් නෙවෙයි. මොකද රනිල් කියන්නෙත් දූෂිතයෙක්.
අපේ යෝජනාව තමයි අපේ පාලනයක් යටතේ මේ දූෂණ වංචාවලට තිත තැබීම පළමු පියවර කොට සැලකීමයි. වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීම වගේම ආර්ථික හා නීති ප්රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. රනිල් වික්රමසිංහගේ මෙම ප්රකාශය මුළුමනින්ම වංචාව හා දූෂණය සාධාරණය කිරීමට කළ තක්කඩි ප්රකාශයක්. එය දූෂණයට උඩගෙඩි දීමක්” යැයිද ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක අවධාරණය කරයි.
අනුරාධා හේරත් – මව්බිම






