ශ්‍රී ලංකාවට ණය ලබාදෙන ප්‍රධාන රටවල් තුන වන චීනය, ජපානය හා ඉන්දියාව සමග එකඟතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මෙම මස ඇතුළත ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට එරටේ අවධානය යොමුව තිබෙන බැවින් මෙම වැඩපිළිවෙළ නියමිත දිනට සාර්ථක කර ගැනීමට හැකි වේදැයි තමන් නොදන්නා නමුත්, එසේ වුවහොත් ජනවාරි මාසය වන විට සාකච්ඡා සාර්ථක කර ගැනීමට ඉලක්ක සහගතව වැඩපිළිවෙළක යෙදීමට සිදුවන බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, ඉහළ ආදායමක් ලබාගෙන ඉදිරියට යා හැකි බව ශ්‍රී ලංකාව පෙන්විය යුතු බව ත්, අනතුරුව ලබන වසරේ වඩා හොඳ ආදායම් තත්ත්වයත් තිබෙන බවට රජය සහතික විය යුතු බව ත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
මේ වන විට බොහොමයක් සංවිධාන සහ රටවල්වලින් ශ්‍රී ලංකාවට සහය ලැබෙමින් තිබෙන බවත්, ඇතැම් රටවල් මෙරටට ඍජුව උදවු කරන විට තවත් සමහර රටවල් සංවිධාන මගින් සහාය ලබා දී තිබෙන බව ත් හෙතෙම කීවේය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීමට පසුගිය දා (30දා) සහභාගි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවට ණය ගැනීම සඳහා තමා මේ වන විට ජපානය, ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, මෙම රටවල් අතරින් ජපානය පමණක් පැරිස් සමාජයේ සිටින බවත් පැවැසූ ජනාධිපතිවරයා අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නොමැති බව කීවේය.
චීනය ප්‍රථමයෙන් ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් සැම්බියාව සමග කටයුතු කළ බව ත්, ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමග බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.
මෙම සාකච්ඡාවලදී එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ අවධානය යොමු කරන අතර එය විසඳා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොළී අනුපාත අඩු වී එම වසර මැද වන විට එහි සහනය ජනතාවට ලබා දීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ අටක් වන බව ත්, පසුගිය වසරේ ද ඍණ අගයක පැවති බවත් කී ජනාධිපතිවරයා ලබන වසරේ එය ඍණ තුනක අගයක් ගනු ඇතැයි සඳහන් කළේය.
උද්ධමනය ඉහළ අගයකට පැමිණ ඇතැයි මහ බැංකු අධිපතිවරයා තමාට දැනුම්දී තිබෙන බව ත්, ඒ අනුව ඉදිරි වසර දෙක සැලකිල්ලෙන් කළමනාකරණය කරගත යුතු බව ත් හෙතෙම කීවේය.
පසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගැසීම හේතුවෙන් නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් ආර්ථික ගැටලු විසඳා ගත නොහැකි බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ ආදායම සියයට 15 සිට සියයට 8.5 දක්වා අඩු වී තිබෙන බව ත්, නැවතත් ආදායම එම ප්‍රමාණය දක්වා වැඩි කර ගැනීමේ ඉලක්ක 2026 වසර වන විට සපුරාගත යුතු බව ත් ඔහු පැවැසීය.
මෙම සැලැස්මට වසර 4ක් යොදා ගත් බවත්, එය වසර දෙකකින් සිදු කිරීමට ගියහොත් ඇති වන පීඩනය දරාගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආදායම අඩුවී ඇති නිසා බිල්පත් ගෙවීම සහ අනෙක් අවශ්‍යතා සපුරා ගැනීම අපහසු වී තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
ලබන වසරේ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක සහගතව කටයුතු කළහොත් රජයේ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි බව ද ඔහු කීවේය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






