දිවයිනේ විවිධ පළාත්වල සිදුකරන ලද ගෙවල් බි¾දුම් 26කට හා වරෙන්තු 12කට අවශ්‍ය වී සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ගලේවෙල පොලිසිය පවසයි. මෙම සැකකරුවන් පසුගිය 30 වැනි දින දඹුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් වසන්ත ආරියරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දුන්නේය. මෙම සැකකරුවන් විසින් ගලේවෙල, සීගිරිය, ගොකරැල්ල, මාවතගම, මකුල්ගස්වැව, කටුගස්තොට හා අලදෙණිය යන පොලිස් වසම් තුළ මෙම අපරාධ සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා දිනකට රුපියල් 20,000ක කුඩු පාවිච්චි කිරීමට පුරුදු වී සිටින බවත් දෙදෙනාම හිටපු හමුදා සෙබළුන් බවත් පොලිසිය පවසයි. මෙම සැකකරුවන් අවුරුදු 29 හා 32 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුහු ගලේවෙල බඹරකටුපොත හා වැරැල්ලගම පදිංචිකරුවෝ වෙති. මෙම සොරකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ පොලිස් ස්ථානවලට දන්වා ඇති බවත් ගලේවෙල පොලිස් වසම තුළ සිදුකළ ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.
ගලේවෙල – තිලක් පල්ලේගෙදර






