ඉන්දියන් සාගරයේ පිහිටි දුපත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝකයේ සිදුවන කාලගුණික බලපෑම්වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. වසරේ කිහිපවතාවක්ම ස්වාභාවික ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන කාලගුණ, දේශගුණ වෙනස්වීම් මොනවාද ස්වාභාවික ආපදා තත්ත්වයන්ගෙන් වන හානි අවම කර ගන්නේ කෙසේද, ඒ සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක්
සකස් කර ගත යුත්තේ කෙසේද ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ විනේතෘ, ජේයෂ්ඨ මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සමඟ කළ සාකච්ඡාවකි.
• ශ්‍රී ලංකාවට වර්ෂාපතනයේ අසාමාන්‍ය තත්ත්වයන්වලට නිතරම මුහුණදෙන්නට සිදුවෙනවා නේද? පසුගිය සති කිහිපයේත් ඒවැනි තත්ත්වයක් දක්නට ලැබුණා.
හැම අවුරුද්දකම මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසය දක්වා නිරිත දිග මෝසම සක්‍රිය වෙන නිසා දකුණු, සබරගමු සහ බස්නාහිර පළාත්වලට සැලකිය යුතු බලපෑමක් ඇතිවෙනවා. ඒවගේම දෙසැම්බර්, පෙබරවාරි කාලය තුළ තමයි ඊසාන දිග මෝසම සක්‍රිය වෙන්නේ.
ඒ මඟින් නැඟෙනහිර පළාත උතුර සහ උතුරුමැද යන පළාත්වලට සැලකියයුතු බලපෑමක් ඇතිවෙනවා. මේ මාසයේ අපට අධික වර්ෂාපතනයක් ලැබෙන්නේ පීඩන අවපාත සහ වාසුලි ක්‍රියාකාරකම් නිසා. සෑම අවුරුද්දකම මැයිවල ඉඳලා ජූලි දක්වාත්. ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලයේත් මේ පීඩන අවපාත ක්‍රියාත්මක වෙනවා.
පසුගිය දවස්වල ක්‍රියාත්මක වුණු පීඩන අවපාතය තරමක විශේෂ එකක්. 2018න් පස්සේ බෙංගාල බොක්ක ආශ්‍රිතව වාර්තා වන විශාලතම සුළි කුණාටුව තමයි පසුගිය සතිවල ක්‍රියාත්මක වුණේ්. මේකට නම දාලා තියෙන්නේ සිට්‍රැන්ග් (sitrang) කියලා. මේ පීඩන අවපාතයේ බලපෑම දැන් ටික ටික අඩුවෙලා බංග්ලාදේශය පැත්තට යමින් පවතිනවා. sitrang බලපෑම නිසා තමයි විශාල වශයෙන් වැස්ස ලැබෙන්නේ. මෙවර සුළංවල බලපෑම අඩු වුණත් වර්ෂාවේ බලපෑම වැඩියි. මෙය හැම අවුරුද්දකම සිදුවන දෙයක්. නමුත් එහි බලපෑම වෙනස් වෙන්න පුළුවන්.
• මේ පීඩන අවපාතවලින් ශ්‍රී ලංකාවට කොතරම් බලපෑමක් ඇතිවෙනවාද?
ශ්‍රී ලංකාවට ඇතිවන විශාලතම ස්වාභාවික උපද්‍රවය තමයි අධික වර්ෂාපතනයත් එක්ක ඇතිවන ජල ගැලීම්, ඒ එක්කම එන නායයාම්, අකුණු සහ ඊට පසුව එන වසංගත රෝග. ලංකාවට ඇතිවන ස්වාභාවික ව්‍යසනවලින් 58%ක්ම සිදුවෙන්නේ ගංවතුර නිසා. ලංකාවේ භූමියෙන් 20%ක ප්‍රමාණයක් ගංවතුර අවදානමට ලක්වෙනවා. වාර්ෂිකව ලක්ෂ 20කට ආසන්න පිරිසක් ගංවතුර, නායයෑම්, නියඟ වැනි ස්වාභාවික විපත්වලට අනිවාර්යයෙන්ම වාර්ෂිකව ගොදුරු වෙනවා. මෙතෙක්කල් සමස්ත ආපදාවලින් සිදු වූ හානියත් එක්ක බලපුවාම සුළි සුළංවලින් සිදුවන හානිය 14%ක්.
ස්වාභාවික ආපදාවලින් සිදුවන ජීවිත හා දේපළ හානිය අතිවිශාලයි. දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදිහට අවුරුද්දකට අකුණුවලට ගොදුරු වෙලා පුද්ගලයන් 40 දෙනකු මියයනවා. අකුණු ඇතිවන කාලසීමාවන් දෙකක් හ¾දුනා ගන්න පුළුවන්. එක කාලසීමාවක් තමයි දැන් අපි මේ ගත කරන්නේ. ඔක්තෝබර්, නොවැම්බර්වල අකුණු වැඩියි. අකුණුවලින් මිනිස්සු විතරක් නොවෙයි අකුණු නිසා සතුන්ට හා දේපළවලට හානි වන ප්‍රමාණය අති විශාලයි.
• අකුණුවලින් විශාල හානියක් වෙන්නේ මිනිසුන්ගේ නොදැනුවත්භාවය නිසාද?
මේ සම්බන්ධයෙන් කළ අධ්‍යයනවලින් සොයාගෙන ඇති ආකාරයට අකුණුවලට ගොදුරු වීමට හේතු ගණනාවක් තියෙනවා. වර්තමානයේ ජන සංඛ්‍යාව වැඩියි. ඒ වගේම බොහෝ ප්‍රදේශ විවෘත ප්‍රදේශ බවට පරිවර්තනය වෙලා තියෙනවා. එම ප්‍රදේශවල මිනිසුන්ගේ නොදැනුවත්භාවය නිසා මේ අනතුරුවලට ගොදුරු වෙනවා.
කළුතර, කෑගල්ල සහ මොනරාගල තමයි වැඩිපුරම අකුණු හානි ඇතිවන දිස්ත්‍රික්ක විධියට හ¾දුනාගෙන තියෙන්නේ. අනෙක් දිස්ත්‍රික්කවලත් අකුණු අනතුරු තියෙනවා. නමුත් සංඛ්‍යාත්මකව මේ දිස්ත්‍රික්කවල අකුණු අනතුරු වැඩියි. එළිමහනේ වැඩ කරන අය, තේවතුවල වැඩ කරන අය කුඹුරුවල වැඩ කරන අයට මේ බලපෑම වැඩියි.
• ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම කාලගුණ රටාව වෙනස්වීමට බලපාලා තියෙන්නේ මොනවගේ හේතුද?
සමස්තයක් විදිහට ලෝකයේ ඇතිවන ස්වාභාවික ව්‍යසන දිහා බලනවිට ඒවා සිදුවන ප්‍රමාණය දස ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ කාලගුණික වෙනස්වීම්. ඒ කියන්නේ උෂ්ණත්වය හා වර්ෂාපතනයේ වෙනස්වීම්. වර්ෂාව නිසා ජල ගැලීම්, උෂ්ණත්වය නිසා නියඟයත් වගේම වසංගත රෝග ඇති වෙනවා. අවසන් ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ජීවිත හා දේපළවලට විශාල වශයෙන් හානි සිදුවීම. මේ කාලගුණික
වෙනස්වීම්වලට ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ හරිතාගාර වායු විමෝචනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් මඟින් පරිසරයට එකතු කරන විවිධ වායු වර්ග. බලශක්ති උත්පාදනයේදී, පොසිල ඉන්ධන දහනය කිරීම වගේම ගල් අඟුරු, ඛනිජ හෝ වෙනත් ආකාරයේ දේවල් දහනය කිරිමෙන් බලශක්තිය උත්පාදනය කිරීමේදී විශාල වශයෙන් විවිධ වායු වර්ග විමෝචනය වෙනවා.
ඒ විතරක් නොවෙයි කර්මාන්ත ශාලාවල එවැනි විශාල ප්‍රමාණයක් වායුන් විමෝචනය කරනවා. ඒ වගේම වනාන්තර විනාශය, ප්‍රවාහන කටයුතු ප්‍රධාන වශයෙන් මේ සඳහා බලපානවා. මේ හැම දෙයක්ම මිනිසුන් විසින් මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා කරන දේවල්. මේ නිසා ගෝලීය උණුසුම වැඩිවෙමින් පවතිනවා.
• ශ්‍රී ලංකාව ලෝකයේ ඇතිවන දේශගුණ විපර්යාසවලින් වැඩි බලපෑමක් එල්ලවන රටක් ලෙස සැලකෙනවා නේද?
දූපත් රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාව මේ දේශගුණ වෙනස්වීම්වලින් වැඩි බලපෑම් ඇතිවන රටක් වශයෙන් තමයි සැලකෙන්නේ. අපේ රට ස්වාභාවික ව්‍යසනවලට ගොදුරුවීමේ ඉහළම සම්භාවිතාවක් තියෙනවා. ලංකාව කුඩා රාජ්‍යයක් වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටීම නිසා අපට ඒ බලපෑම ඇතිවෙනවා කියන්න පුළුවන්. අවදානම් කළමනාකරණය සඳහා වූ ලෝක දර්ශකයක් කියලා දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා.
රටවල් 191 මෙයට ඇතුළත්. මේ දර්ශකයේ ලංකාව තියෙන්නේ 97 වැනි ස්ථානයේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මධ්‍ය අවදානමක් තියෙන රටක්. මේ දර්ශකයට අනුව ස්වාභාවික ව්‍යසනවලින් වැඩිම අවදානමක් තියෙන රට වශයෙන් සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවට එහායින් පැසිපික් සාගරයේ ඇති වනාටු කියන දූපත. එම දර්ශකයට අනුව හොඳම තත්ත්වයක් තියෙන්නේ කටාර්වල.
• ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?
ශ්‍රි ලංකාවේ සිදුවන සියලුම ආපදා කළමනාකරණ කටයුතු පවරලා තියෙන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට. 2005 මැයි 13දා පළ කෙරුණු ගැසට් පත්‍රයෙන් ඒ සඳහා නෛතික බලතල පැවරිලා තියෙනවා. ඒ අමාත්‍යාංශවල ක්‍රියාකාරකම්වල සභාපතිත්වය තියෙන්නේ ජනාධිපතිතුමාට.
උප සභාපතිත්වය තියෙන්නේ අග්‍රාමාත්‍යතුමාට. ඒ තරම්ම මේ කාර්යයට ප්‍රමුඛස්ථානය ලැබිලා තියෙනවා. පනතේම සඳහන් වෙලා තියෙනවා මාස තුනකට සැරයක් රැස්වීම් තියන්න ඕන කියලා. ආපදාවලට පෙර සූදානම සහ ආපදා අවස්ථාවලදී අවශ්‍ය කටයුතු කිරීම තමයි ඒ අයගේ කාර්යභාරය වෙන්නේ. දැනට ආපදා සඳහා පෙර සූදානම් වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා.
නමුත් එම වැඩපිළිවෙළ මීට වඩා ශක්තිමත් වීම අවශ්‍යයි. මිනිස්සු දැනුවත් කිරීම ඒ සඳහා සූදානම් කිරීම, ඒ තුළින් දැනට සිදුවන හානි අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම කළ යුතු වෙනවා. එමඟින් අපට ජීවිත හා දේපළ හානි විශාල වශයෙන් අවම කරගන්න පුළුවන්. ආපදා පෙර සූදානම් ක්‍රියාවලියට මීට වඩා අවධානය යොමු කරන්න ඕන. දැනුවත් වීම් මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මේ සම්බන්ධව විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්.
• ආපදා කළමනාකරණයේදී ඇතිවන ගැටලු මොනවාද?
මෙරට සිදුවන නායයෑම්වල ශීඝ්‍ර වර්ධනයක් දකින්න පුළුවන්. සෑම අවුරුද්දකම ඔක්තෝබර් සිට ජනවාරි දක්වා මේ නායයෑම් වැඩි වශයෙන් සිදුවෙනවා. නායයෑම් වැඩිවෙනවා කියන්නේ නායයෑම්වලට සාපේක්ෂව අහිමිවන මිනිස් ජීවිත ප්‍රමාණයත් වැඩිවෙනවා. දේපළ හානි වැඩිවෙනවා.
අකුණු, ගංවතුර වැනි තත්ත්වයන්ගෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදු වෙනවා. ඒ පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යයි. වර්තමානයේ ගංවතුර වැනි තත්ත්වයන්ගෙන් වන ජීවිත හානි අඩු වුණත් තවමත් වෙනවා කියන්නේ සලකා බැලිය යුතු දෙයක්. මේ කටයුතු හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශ ගණනාවක් තියෙනවා. ආපදා අවස්ථාවකදී මේ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අවශ්‍යයි.
ඇතැම් අවස්ථාවලදී මෙවැනි සම්බන්ධීකරණයක් සිදුවෙනවාද කියන එක සැක සහිතයි. පසුගිය කාලයේ අනතුරට ලක් වූ එක්ස්ෆර්ල් නෞකාව සම්බන්ධව කටයුතු කිරීමේදී මේ තත්ත්වය පැහැදිලි වුණා. ඒවගේ අවස්ථාවකදී කටයුතු කරන්නේ කොහොමද කියලා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැඩපිළිවෙළක් තිබුණේ නෑ. එවැනි සිදුවීම්වලටත් මුහුණදීම සඳහා සූදානමක් තිබිය යුතුයි. වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ වගේම මේ හා සම්බන්ධ දත්ත හා තොරතුරු නිරන්තරවම යාවත්කාලීන කළ යුතුයි.
• ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඇතැම් රටවල් ඉතාමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නේද?
මේ දවස්වල අපට බලපාන සුළිසුළඟ ඊළඟට යන්නේ බංග්ලාදේශයට. එම නිසා බංග්ලාදේශයේ සිදුවීමට යන හානිය අවම කර ගැනීමට ලොකු වැඩපිළිවෙළක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඔවුන් වඩාත් හොඳ උපාය මාර්ග භාවිත කරනවා. ඔවුන්ගේ තියෙනවා ප්‍රජාපාලක ආපදා පෙර සූදානම කියලා දෙයක්. ප්‍රදේශයේ ඉන්න ජනතාව එකතුවෙලා ඒ අයට අත්දකින්න වෙන ආපදා තත්ත්වයන් තක්සේරු කරලා රජයේ නිලධාරීන් සමඟ එකතුවෙලා ඒ සඳහා සූදානම් වෙනවා.
සතුන් ආරක්ෂා කර ගැනීම, ජලය ලබා ගැනීම පිළිබඳ ක්‍රමවේද සකස් කර ගැනීම වැනි බොහෝ දේවල්වලට ඒ අය සූදානම් වෙනවා. කල්ඇතිව සූදානම්වීම මඟින් එන ආපදා අවම කරගන්න පුළුවන්. පසුගිය කාලයේ අපි දැක්කා ඉන්දියාවේ අනවසරයෙන් ඉදිකළ තට්ටු විසිපහේ තිහේ විශාල ගොඩනැඟිලි අධිකරණ නියෝග මත කඩලා විනාශ කළා. ඒ රටලව ප්‍රශ්න අවම කරගන්න උත්සාහ කරන ක්‍රමවේදය තමයි ඒ.
• ජල ගැලීම්වලින් නායයෑම්වලින් සිදුවන අනතුරු වැඩිවීමට අකාර්යක්ෂම ඉදිකිරීම්, කානු පද්ධති අවහිරවීම් වැනි කරුණු ගණනාවක් බලපානවා නේද?
ඉදිකිරීම් සඳහා අනුමැතිය දෙන්නේ විවිධ නිර්නායකවලට යටත්වයි. නමුත් බොහොමයක් දෙනා එවැනි නිර්දේශ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නෑ. බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශවල අධික වර්ෂාව ලැබෙනකොට ඉතාමත් කෙටි කාලයක් තුළ පාරවල් සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ජලය හරියට බැස නොයාම. අනවසර ආකාරයෙන් ඉදිකර ඇති තාප්ප මේ සඳහා බලපාලා තියෙනවා. වතුර බහින්නේ නැති වුණාම ගංවතුරක් බවට පරිවර්තනය වෙනවා. ඉදිකිරීම් සිදු කරනකොට ප්‍රමිතීන්වලට අනුකූල නොවුණාම සිදුවන අනතුරු වැඩියි.
පසුගිය කාලයේ පහත්බිම් විශාල වශයෙන් ගොඩ කරලා තියෙනවා. හුඟක් ඒවා අනවසර ගොඩකිරීම්. ජලය නිසියාකාරව බැහැලා යන්න තැනක් නෑ. මේ නිසා නිරන්තරයෙන්ම අපට ජල ගැලීම් අත් දකින්න සිදුවෙලා තියෙනවා. පැය දෙකක් වැස්සොත් කොළඹ යටවෙනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්. මේ සඳහා අදාළ ආයතන නිසියාකාරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අනවසර ඉදිකිරීම් ගොඩ කිරීම් නැවත යථා තත්ත්වයට පත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අදාළ ආයතනවලින් අවශ්‍ය කටයුතු කළ යුතුයි.
• හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීමේ කාර්යක්ෂම
වැඩපිළිවෙළක් සකසාගත යුත්තේ කෙසේද?
අපට තව කෙනකුට පණිවුඩයක් දෙන්න අවශ්‍ය නම්
ක්ෂණිකවම ලබාදිය හැකි මාර්ගයක් තමයි සමාජ මාධ්‍ය. අද හැම කෙනකු සතුවම ජංගම දුරකථන තියෙනවා. හැබැයි අපි සමාජ මාධ්‍ය ඒ සඳහා යොදාගෙන තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමේ කාර්යයන් සඳහා ඒ මාධ්‍ය පුළුල් විදිහට යොදාගන්න ඕන. සාමාන්‍ය ජනතාවට තේරෙන සරල සිංහලෙන් පණිවුඩ දෙන්න පුළුවන්නම් එය වඩාත්
ප්‍රයෝජනවත් විය හැකියි. සමහර රටවල්වල අවදානම් තත්ත්ව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඇප් එකක් ක්‍රියාත්මක වෙනවා. අපටත් එවැනි යෙදවුමක් (ඇප් එකක්) භාවිත කළ හැකියි. මහජනතාවටත් එයට තොරතුරු යාවත්කාලීන කළ හැකිනම් වටිනවා. අපට ක්‍ෂණිකව මුහුණදෙන්නට සිදුවන ආපදා තත්ත්වයන් පිළිබඳ අනෙක් අයව දැනුවත් කිරීමට හැකිවීම වැදගත්. අවදානම් තත්ත්ව පිළිබඳව ක්ෂණිකවම හැම කෙනාම දැනුවත් වෙනවා නම් සිදුවන හානිය අඩුයි.
පූර්ව ආපදා වැඩසටහන් ක්‍රියාත්මක වීමත් අත්‍යවශ්‍ය වෙනවා. ලංකාවේ වසරකට 750ක් විතර සංඛ්‍යාවක් ආසන්න වශයෙන් වතුරේ ගිලිලා මැරෙනවා. අපේ ජනතාවට තමන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ පුහුණුවක් දිලා තිබුණානම් දැනුවත් වෙලා තිබුණානම් මේ 750න් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරා ගන්න තිබුණා. ක්‍රීඩා අමාත්‍යාංශය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ එකතුවෙන් මෙවැනි වැඩපිළිවෙළවල් දියත් කරන්න පුළුවන්. එමඟින් විශාල ජීවිත ප්‍රමාණයක් ආරක්ෂා කරගන්න පුළුවන්.
• ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වාම මේ සම්බන්ධ නිලධාරීන් සිටියත් ඔවුන්ගේ වගකීම ඉටුවෙනවාද කියන එක ප්‍රශ්නයක් නේද?
ආපදා කළමනාකරණය සඳහා සක්‍රිය මට්ටමෙන් ත්‍රිවිධ හමුදාව සහභාගි වෙනවා. පරිපාලනමය වශයෙන් ගත්තොත් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඉඳලා ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි දක්වා ආයතනික ව්‍යූහයන් තියෙනවා. මේ ව්‍යුහය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම අවශ්‍යයි. එසේ නොමැති වීම තමයි බරපතළ ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ.
සංලාපය – රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය






