දකුණු කොරියාවේ, සෝල් අගනුවර හැලෝවීන් උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් මිය ගිය ශ්රී ලාංකිකයා මහනුවර උඩතලවින්න, මඩිගේ ප්රදේශයේ පදිංචි ජී.අයි. මුනව්වර් මුහම්මද් ජිනාත් නමැති 27 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනා ගෙන තිබේ.
වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට ඇති ඔහු මීට මාස එකහමාරකට පමණ ඉහතදී මෙරටට පැමිණ විවාහ වී යළි විදේශගත වී ඇත.
“මියගිය ජිනාත් විවාහ වෙලා මාස දෙකයි. එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. ඒ රටේ පටු වීදියක තිබ්බ උත්සවයකදී තෙරපීමකට ලක්වෙලා මියගියා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. එයාගේ අම්මයි තාත්තායි ලෙඩින් ඉන්නේ. අක්කා විවාහ වෙලා. මල්ලී කෙනෙකුත් ඉන්නවා. බිරිඳ මඩකලපුවේ ඉන්නේ. මේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා,” යනුවෙන් මියගිය පුද්ගලයාගේ ඥාති සහෝදරයෙක් පැවසුවේ ය.










