Home Local News Room : රනිල් හමුවූ සාගලගේ රෝයල් ඥාතියා කවුද?

News Room : රනිල් හමුවූ සාගලගේ රෝයල් ඥාතියා කවුද?

1
0

රනිල් – බැසිල් ගැටුමෙන් ආණ්ඩුකාර පත්වීම්වලට

කණ කොකා හඬයි

කැබිනට් මණ්ඩලය සංශෝධනය කර ආණ්ඩුකාරවරු පත්කිරීමට ජනාධිපතිවරයාගේ සැලැස්ම ඉටුකර ගන්නට බැරි තත්ත්වයක් උදාවී ඇතැයි ජනාධිපතිට සම්බන්ධ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ පූර්ණ බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාටය. ආණ්ඩුකාරවරුන් ජනාධිපතිගේ පළාතේ නියෝජිතයා වන බැවිනි. ඒ අනුව ආණ්ඩුකාවරුන් 9 දෙනාගෙන් පස්දෙනකු පොහොට්ටුවෙන් පත් කර ගැනීමටත්, අනෙක් හතර දෙනා ජනාධිපතිගේ නියෝජිතයන් ලෙස පත්කර ගැනීමටත් යම් එකඟතාවක් පළමුව ඇතිකරගෙන තිබුණත් රනිල්ට එම සිවුදෙනා පත්කර ගැනීමේ අවස්ථාව ලබාදීමට පොහොට්ටුවේ බලධාරීන් අවස්ථාව ලබාදී නැත. ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම වහාම සිදුවන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ ඔහුගේ නියෝජිතයන් ලෙස ජෝන් අමරතුංග, නවීන් දිසානායක, රංගේ බණ්ඩාර සහ ඒ. එස්. පී. ලියනගේ යන අය ආණ්ඩුකාරවරුන් ලෙස නම් කිරීමට සියලු කටයුතු යොදා තිබුණත්, පොහොට්ටුවෙන් ඒ සඳහා “අවසරය” නොලද හෙයින් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ කටයුත්ත ඇනහිට තිබේ.

මේ තත්ත්වය යටතේ වික්‍රමසිංහ මහතා ආණ්ඩුකාරවරයකු ලෙස නම් කරන්නට තෝරාගෙන සිටි අයකු තානාපතිවරයකු ලෙස පත්කර යැවීමට පසුගියදා තීරණය කළ බව වාර්තා වේ.

ඇමැති පත්කිරීම්ද ඇනහිටී

මේ අතර කැබිනට් මණ්ඩලයට අලුතින් කිහිප දෙනකු පත් කරන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන තිබූ තීරණයද මේ වනවිට අත්හිටුවා තිබෙන්නේ පොහොට්ටු පක්‍ෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ නාමල් රාජපක්‍ෂ යන අය කැබිනට් ඇමැති ධුර සඳහා පත්කරන ලෙසට පොහොට්ටුවෙන් කළ යෝජනාව ජනාධිපති රනිල් දැඩි ලෙසම ප්‍රතික්‍ෂේප කළ නිසා බව කියති. රනිල්ට තමාට අවශ්‍ය හතර දෙනා ආණ්ඩුකාරවරුන් ලෙස පත්කර ගැනීම නතර වූයේ රනිල් පොහොට්ටුවේ හතර දෙනාට ඇමැති ධුර දීමට අකැමැත්ත ප්‍රකාශ කළ නිසා බවද කියති.

රනිල්ට පාසල් දිවිය

සිහි ගැන්වූ රෝයල් සිසු හමුව

ජනාධිපති රනිල්ට පසුගිය සෙනසුරාදා ඔහුගේ පාසල් ජීවිතය නිරන්තරයෙන්ම සිහියට නැඟෙන්නට ඇත. ඒ ඔහු සිප්සතර හැදෑරූ පාසලේ වර්තමාන ශිෂ්‍ය නායක මඬුල්ල මුණගැසීමට අවස්ථාවක් උදාවීමය. සිය පාසලෙන් බිහිවන රාජ්‍ය නායකයා මුණගැසී පිළිසඳරක නිරතවීම රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ සම්ප්‍රදායකි.

එක් අවස්ථාවක රාජකීය සිසු නායකයන් මාලදිවයිනට ගියේ එරට ජනාධිපති ලෙස පත්වූ සිය ආදි සිසුවූ මයුම් අබ්දුල් ගයුම් මුණගැසීමටයි. ඒ හමුව සිදුවූයේද පාසලේ සම්ප්‍රදාය ක්‍රියාවට නඟමිනි. ජනාධිපති රනිල්, රාජකීය සිසු නායක හමුව සංවිධානය වූයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ මැදිහත්වීමෙනි. සාගලට මේ හමුව දෛවෝපගත සිද්ධියක් වූයේ ඔහුගේ සොහොයුරාගේ පුත් කමිෂ රාජකීය විදුහල් වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමයි.

“බාප්පයි පුතයි දෙන්නම රාජකීයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ. පුතත් තාත්තගේ අඩිපාරේ යන්නද හදන්නෙ” යි ජනාධිපති කී විට සිසු දරුවන්ට සිනහව නතර කර ගන්නට බැරි විය.

ඉතිහාසය සිහිපත් කරමින්, “සර් එදත් තරුණ නායකයෝ හැදුවා. අදත් හදනවා” යි සාගල කීවේය.

වර්තමානයේද තරුණ නායකයන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් ගැන සිහිපත් කළ රනිල් ඊට අදාළ වැඩසටහනක් සකස් කරන්නැයි සාගලට උපදෙස් දුන්නේය.

ගෝඨා හඬයි රට නිහඬයි

මැතිවරණවලින් තොරව රටේ පාලනයට නායකයන් පත්කර ගන්නා අලුත් දේශපාලන සංස්කෘතිය හඳුන්වා දුන්නේ අරගලකරුවන් විසින් සහ බලයෙන් පන්නා දැමූ තනතුරු අතහැර ගිය ගෝඨා විසිනි. ගෝඨා කෙනකු මෙරට හිටියාදැයි කිසිවකු අද කතා කරන්නේද නැත. ඒ වෙනස සිදුවූ කාලයේ ගෝඨාගේ පරපුරේ අයට බැන්නා මිස ස්තෝත්‍ර කීවේ නැත. එහෙත් මාස හයක් ගතවෙන්නටත් පෙර දැන් තත්ත්වය වෙනස් වෙමින් රාජපක්ෂලාට යළි ඔටුනු පලඳවන්නට උත්සාහයක් දරමින් සිටී.  දේශපාලන වේදිකාවෙන් වාර්තා වන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදී මහින්ද රාජපක්ෂ  රටේ  අගමැති ලෙස පත් කරන්නට සූදානමක් තිබෙන බවයි.

ඉතිහාසය වළ දමා

බලයට ඒමේ වෑයම

“දේශපාලනයේ යෙදෙන හිටපු දේශපාලන ලොක්කකුගෙන් මේ සූදානම ගැන විමසූ විට ඔහු කීවේ මෙහෙම කතාවකි. ඔව් ඔව් එහෙම කතාවක් තියෙනවා. පවුලේ එකෙක් දාන්න හදනවලු. මිනිස්සු ගහලා පන්නනලා කැලෑවැද්දවපු අය. ඡන්දයක් නැතිව ව්‍යවස්ථානුකූල ආණ්ඩුවකුත් දැන් හදලා තියෙන්නේ.  රටේ පැවැති අවිනිශ්චිත බරපතළ තත්ත්වය අවසන් වෙලා නැතත්, ඇතැම් ප්‍රශ්නවල අඩුවීමක් පේන්න තියෙනවා. දැන් ඉතිහාසය වළ දමලා බලය අල්ලන්නයි හදන්නේ” එම දේශපාලන ලොක්කා කියාගෙන ගියේය.

අගමැති පුටුව වටේ කැරකෙන ප්‍රසන්න

මහින්ද රාජපක්ෂ  අගමැති ලෙස පත්කර ගන්නට පොහොට්ටු පක්ෂයේ කණ්ඩායමක් මේ දිනවල රහස් දේශපාලන කුමන්ත්‍රණයක් ගෙන යන බවට නම් දැන් තොරතුරු හැම පැත්තකින්ම ලැබෙමින් තිබේ. එහෙත්  රනිල් පාර්ශ්වය හා රාජපක්ෂ පාර්ශ්වය සෘජුව මේ ගැන සාකච්ඡා පවත්වන බවක් නම් වාර්තා වන්නේ නැත.

රනිල් බලයේ තියා ගන්නට උදවු කරන බව කියන ප්‍රසන්න රණතුංග අගමැති ධුරයට බැල්ම හෙළාගෙන සිටින බවටද ආරංචිය.

අංශභාග රෝගීන්

4000ක් පරලොවට

තෙල්, ගෑස් පෝලිම් පෙනෙන්නට නැතත් ජනතාව අදට විඳින වද වේදනාවල නම් අඩුවක් නැත. රජයේ රෝහල්වල අවශ්‍ය කරන බෙහෙත් නැත. ළමා රෝහලේ තත්ත්වයද එයයි. අපේක්ෂා රෝහලේ රෝගීන් බෙහෙත් නැතිව මරණය වෙළා ගන්නා බව නම් ඇත්තකි. බෙහෙත් නොමැති නිසාම මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි කිසිවකු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ නැත.  පසුගිය මාස කිහිපයට අංශභාග රෝගයෙන් 4000ක් මියගිය බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වර්තමානයේ අද රට පවතින තත්ත්වයි.

ආහාර මිල ගණන්, භාණ්ඩවලට අය කරන බදු වැඩි කිරීම ගැන ලබන 14 වැනිදා ඉදිරිපත් කරන අය වැයෙන් ගණන් ඉලක්කම් බලා ගන්නට පුළුවන. කොතරම්දැයි කියනවා නම් ලයිට් බිලටත්, ඉන්ධනවලටත් දැනටමත් ආරක්ෂක බද්දක් පනවා තිබේ.

මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීමට මිලදී ගන්නා ගුවන් ටිකට් පතටද ඩිරාම් 250ක බද්දක් එකතු කරන්නට පටන් ගෙන තිබේ. මැද පෙරදිග සිට පැමිණි ශ්‍රමිකයකු මෙම තීරුවට පැවැසුවේ රුපියල් 22,000ක පමණ බද්දක් ගුවන් ටිකට්පතේ ගාස්තුවට අමතරව ශ්‍රී  ලංකා රජයට ගෙවීම සඳහා අයකරන බවයි.

පාර අයිනේ බඩඉරිඟු විකුණන්න මාසයකට 2000ක් ගෙවන්නත් වෙලා

මේ සටහන තබන අවස්ථාවේ ‘මව්බිම’ මාධ්‍යවේදියකු පැවැසුවේ උතුරු මැද පළාතේ ගල්නෑව, බුල්නෑව ප්‍රදේශයේ පාර දෙපස වර්ග අඩි 10ක් තරම් කුඩා පොල් අතු මඩුවක බඩඉරිඟු විකුණන අයකුගෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මසකට රුපියල් 2000ක බද්දක් අය කරන බවයි. මේ සුළු විස්තරය ලීවේ රටේ අහිංසක ජනතාව විඳින දුක් කන්දරාව ගැන පෙන්වා දීමටය. ජනතාව විඳින දුකට සහනයක් සලසාදීම වෙනුවට මේ කාලකණ්ණි ආණ්ඩුවේ ලොක්කන් කරන්නට යන්නේ ඔවුන්ට නැතිවී ගිය දේශපාලන තනතුරු යළි පිහිටුවා ගෙන තවදුරටත් දේශපාලන වශයෙන් විරාජමාන වෙන්නටය.

බලය ගන්න කකුල් මාට්ටු දැමීම

රටට මේ විනාශය කළේ යළි ඡන්දයකුත් නැතිවම ඉහළ තනතුරු ලබාගන්නට නැත්නම් අගමැති පුටුවේ වාඩි වෙන්නද? 22 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදී මඟහැරි කල්ලිය මොන වෙට්ටු කකුල් මාට්ටු දැම්මත් ඔවුන්ගේ අපේක්ෂා යළි ඉටුකර ගන්නට නම් මේ රටේ ජනතාවගෙන් ඉඩක් ලැබෙන්නේ නැති බව නම් ඉර හඳ මෙන් ස්ථීරය.

ධනපතියන්ට බදු සහන දුන් ගෝඨා 2 1/2න් ගෙදර ගියා

“ධනපතියන්ට ලිබරල් බදු සහන දීපු එංගලන්ත අගමැතිනි ලිස්ට්‍රස් මැතිනියට දින 45න් ගෙදර යන්න වුණා.

ඒ විදිහටම බදු සහන දුන්නු ගෝඨාභයට අවුරුදු දෙක හමාරෙන් ගෙදර යන්න වුණා.

මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කොයි පාලකයටත් අත්වෙන ඉරණම තමයි ඒක.”

සජබ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ සිය මන්ත්‍රි කණ්ඩායම සමඟ පැවැති හමුවකදී පැවැසීය.

සජිත් මේ කීවේ පරණ සිදුවීම්ය. නමුත් අද මේ ආණ්ඩුව යටතේ සිදුවන්නේ සහන වෙනුවට බදු පිට බදු ජනතාව පිට පැටවීමයි. තව සති දෙක තුනක් යනවිට බදු පැටවීම ගැන සජිත්ට රනිල් මතක් කර තවත් ප්‍රකාශයක් කරන්නට සිදුවීම මඟහරින්නට නම් බැරිය.

සජිත් රටවල් දෙකක රාජ්‍ය නායකයන්ගේ නම් සඳහන් කරමින් මෙසේ කීවේ පසුගියදා එංගලන්තයේ අගමැති ධුරයට පත් වූ රිෂී සුනක්ට සුබ පතමිනි. බදු සහන දී රට කඩා වට්ටපු නායකයන් ගැන සජිත් එහෙම කියද්දී මුජිබර් රහුමාන් කීවේ ටිකක් සැර කතාවකි. උද්ධච්ච වැඩවසම් පාලකයන් එක්ක නූතන මිනිස්සු හිට ගන්නේ නෑ. අපි ආණ්ඩුවට කියන්නේ ඒක. මුජිබර්ගේ කතාවයි. ඒ ප්‍රකාශය ඔහුගේ නායක සජිත්ටත් නොගැළපෙනවා නොවේ.

රට වට්ටපු තැනින් ගොඩගන්න බව

මහින්ද කියයි

මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකයායි. කලක් ගෙට වැදී සිටි ඔහු දැන් කලඑළියට පැමිණ පරණ පුරුදු දේශපාලන සටනට පිවිස සිටී. සුළු කාලයක් නිහඬව සිටි මහින්ද කළුතරින් පොහොට්ටුවේ සටන අරඹා නාවලපිටියට ගොස් පසුගිය 27 වැනිදා පුත්තලම ආරච්චිකට්ටුවටද ගොස් ජන රැලියකට සහභාගි විය.

මහින්ද ආරච්චිකට්ටුවේදී කීවේ තම අභිලාෂය රට වැටුණු තැනින් නැවත ගොඩ ගැනීම බවයි. එම ප්‍රකාශයට නිවැරැදි අරුතක් දුන්නා නම් රට වට්ටපු තැනින් නැවත ගොඩගන්නවා යැයි විය යුතු නොවේද?

කෙසේ වෙතත් මහින්දගේ මේ තිරිහන් දේශපාලන ගමනට සජබ ඉමිතියාස් බාකිර් මාකාර් නව අර්ථකථනයක් දී තිබේ. පසුගියදා සජබ නායකයා සමඟ මන්ත්‍රි කණ්ඩායම කළ සාකච්ඡාවකදී මහින්දගේ නම නොකියා ඔහුගේ දේශපාලන ගමන හඳුන්වා දුන්නේ මෙසේයි.

“අවුරුදු හැත්තෑ හයක තාත්තා කෙනෙක් තමන්ගේ පුතාව නැඟිට්ටවන්න දැන් වේදිකාවක් වේදිකාවක් ගානේ යනවා.

එයා යන්නේ තමාගෙ පුතා වෙනුවෙන්.

මේ රටේ හැම තාත්තා කෙනකුටම හැම අම්මා කෙනකුටම වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන් වෙනුවෙන් නැඟී සිටින්න.”

දරුවන් ගැන තාත්තා අම්මාට තිබෙන වගකීම ගැන ඉමිතියාස් සඳහන් කරද්දී වයසක තාත්තා ගැන මෙහෙම සඳහනක් ද කළේ ලක්ෂ්මන් කිරිඇල්ලයි.

“අවුරුදු හැත්තෑ හයක තාත්තා එයාගෙ පවුලෙ අයත් එක්ක මේ රට බංකලොත් කළා. හැබැයි මේ රටේ හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දහඩිය මහන්සිය කැප කළේ මේ රටට යමක් එකතු කරන්න. කිරිඇල්ල කියන්නේ රටට පුතා එකතු කිරීම වරදක් කියාද?”

එක්ව නැඟිටින්නට ආරච්චිකට්ටුවට ගිය ප්‍රසන්න

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අතහැර රනිල්ට එකතු වන්නට යන්නට සූදානම් වෙනවායි කියන ප්‍රසන්නගේ හැසිරීම දේශපාලන උප්පරවැට්ටියක් දැයි සමහරු තුළ සැකයක් මතුවෙමින් තිබේ. එයට හේතු වූයේ පසුගිය 27 වැනිදා පුත්තලම  ආරච්චිකට්ටුවේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ප්‍රසන්න සහභාගි වී වේදිකාවටත් ගොඩවීමේ සිද්ධිය නිසාය.

“එක්ව නැඟිටිමු”  මේ රැස්වීමේ තේමාවය. ඉකුත් මැයි 09 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවෙස පිහිටි ස්ථානයේ මෙම රැලිය සංවිධානය කර තිබිණි. ප්‍රසන්න ඇමැතිවරයා වේදිකාවට ගොඩවන්නට පෙර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සනත් නිශාන්ත, ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, මධුර විතානගේ, සම්පත් අතුකෝරළ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස සමඟ විශේ්ෂ සාකච්ඡාවකද නිරතව සිටියේය.

අනතුරුව රැස්වීම පැවැති ස්ථානයට ගිය ප්‍රසන්න රැස්වීම සංවිධානය කරමින් සිටි පිරිස සමඟද යමක් කතා කරද්දී  “ආ ඔබතුමා මොකද මේ පැත්තේ” රැස්වීමට පැමිණ සිටි මන්ත්‍රිවරයකු ඇසුවේය.

අපි තමයි එදා

මහින්ද සුළඟ ගෙනාවේ

“ඇයි අපිට මේවට එන්න හොඳ නැද්දැයි” ඒ මන්ත්‍රිවරයාගෙන් කෙටි ප්‍රශ්නයක් ඇසූ ප්‍රසන්න “හුඟාක් අය කර අරිද්දි අපි තමයි මහින්ද සුළඟ පටන්ගෙන වැඩේට බැස්සේ. ඒක නිසා අපිව එළවන්න ටිකක් අමාරුයි ඇමැති ප්‍රසන්න සිනාසෙමින් කීවේය.

ප්‍රසන්නට ප්‍රශ්නය යොමුකළ මන්ත්‍රිවරයා “අනේ ඇමැතිතුමා මම විහිළුවක් කළෙයි”  පසුතැවිලි ස්වරූපයකින් කීවේය.

අපි එළවන්න හිතුවා මදි

ප්‍රසන්න අයියා හැමදාමත් අපිට හිතවත්නේ. අයියා කවදත් වැරැදි තීන්දු ගන්නේ නැති බව අපි දන්නවායි’ නාමල් රාජපක්ෂ කතාව රෝන් යන්නට නොදී නතර කර ගත්තේය.

සුළු වේලාවකින් රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගිය ප්‍රසන්න වේදිකාවට ගොඩ වී එහි සිටි පිරිස සමඟද සතුටු සාමීචියක යෙදී එදින සවස පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගි වීම සඳහා ආපසු කොළඹ බලා පිටත් වන්නට සූදානම් විය.

ප්‍රසන්න ළඟටම ගිය රාජ්‍ය ඇමැති නිශාන්ත අත අල්ලාගෙන “මේ වෙලාවේ ආවට බොහොම ස්තුතියි” යැයි කීවේය.

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම නැත්නම් මමත් මෙතැන ඉන්නවා. බජට් එක නිසා මම අද රැස්වීමට ඉන්නම ඕනෑයි. ප්‍රසන්න, නිශාන්තගේ පිටට තට්ටුවක් දමමින් පිටත් විය.

ප්‍රසන්න අලියා පිටට නඟිනවාද

ප්‍රසන්න රණතුංග ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් එජාපයට එක්වන බවට පළවූ වාර්තාව ඉකුත් සතියේ මෙරට දේශපාලනයේ තරමක රත් කිරීමට හේතුවක් විය. මේ අවස්ථාවේ  ඔහු සිටියේ ප්‍රංශයේය. ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබා ගන්නා අවස්ථාවේද ඔහු ලංකාවේ සිටියේ නැත.  ඔහු නිවේදනයක් නිකුත් කරමින්  තමා එජාපයට යන්න සූදානමක් නැතත් රනිල් ජනාධිපති ශක්තිමත් කරන්න කොන්දේසි විරහිතව පෙනී සිටින බව කියා තිබිණි. ඔහු මෙහෙමත් ප්‍රකාශයක්ද කර තිබිණි. “දේශපාලනය කරන්න කලින් අපි රට ආරක්‍ෂා කරගෙන මේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕනෑ. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.”

ප්‍රසන්න මොන වචන හරඹයක යෙදුණත් අවසානය ඔහු රනිල්ගේ සාක්කුවට වැටෙන එකය.

ප්‍රසන්න ලංකාවට පැමිණිවෙලේ සිටම මැති ඇමැතිවරුන්, පාක්‍ෂිකයන් ඇතුළු විවිධ පිරිස් දුරකථන ඇමතුම් දෙන්නට වූහ. ඒ අතර ජනාධිපති රනිල්, අගමැති දිනේෂ්, හිටපු ජනාධිපති ගෝඨාභය, හිටපු අගමැති මහින්දද වූහ.

මහින්ද දුරකථනයෙන් ප්‍රසන්නට කතාකොට ඔයා පක්‍ෂ මාරුකරන්න හදනවාය කියන කතාව මොකක්දැයි ඇසුවේය.

සර් මම කවදාවත් පක්‍ෂ මාරු කරන්නේ නෑ. ඒ වගේම කරදරේක වැටුණු වෙලාවට මිනිස්සු අතහරින්නෙත් නෑයි ප්‍රසන්න දුන් පිළිතුරට සතුටු වූ මහින්ද ඒක තමයි මම ඔයා ගැන දන්නවනේයි කීය. සර්, මේ වෙලාවේ මම ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඒකට මිනිස්සු එක එක අර්ථකථන දෙනවා. ඒකට ඉතින් මම මොනවා කරන්නදැයි ප්‍රසන්න යළි මහින්දට පිළිතුරු දෙමින් කතාව අවසන් කළේය.

ඕවා බොරු කතා

මම සර් එක්ක ඉන්නවා

මේ අතර ප්‍රසන්න හිටපු ජනාධිපති ගෝඨාභයටත් සිය දේශපාලන ස්ථාවරය පැහැදැලි කළේය.

ගෝඨාභය ටිකක් ඉහළින් තියන්නට උත්සාහ කළ ප්‍රසන්න, මම තාමත් සර් එක්ක ඉන්නවා. සර් වැරැදි කරපු කෙනෙක් නෙවෙයිනේ කීවේය.

ප්‍රසන්න ගන්නට යන දේශපාලන තීරණය ගැන ඔහුට සමීප අගමැතිවරයාටත් කතාකොට සිය ස්ථාවරය පැහැදිලි කළේය. අගමැතිවරයා කීවේ “මම දන්නවා ඔයා කවදාවත් වැරැදි තීරණයක් ගන්නේ නෑ කියලා. ඔයාගේ නිවේදනයෙන් ඔයාගේ දේශපාලන මතය පැහැදිලි කරලා තිබුණා. අපේ අයත් ඇත්ත මොකක්ද කියලා දැනගත්තේ ඒකෙන්.

මේ අතර ප්‍රසන්න ජනාධිපතිද හමුවිය. දෙදෙනා අතර දිගු සාකච්ඡාවක් පැවැතියත් එම හමුව දෙදෙනාට පමණක් සීමාවූ බැවින් වැඩි තොරතුරක් දැනගන්නට ලැබුණේ නැත.

ජනපති ප්‍රසන්නට

කීවේ මොනවාද?

ප්‍රසන්න ජනාධිපති හමුවූයේ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදීය. ඔහු විශේෂයෙන් පැමිණියේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසන්නට හිතවත් පාක්‍ෂිකයන් පිරිසක් වෙනම ඡන්ද විමසීමක් පවත්වන ලදුව ඔහු ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවට වැඩි ඡන්දයක් ප්‍රකාශ වූ බව දැනුම් දීමටය.

සිද්ධිය දැනුම්දුන් ප්‍රසන්න විමසා තිබුණේ තමන් කළ යුත්තේ කුමක්ද කියාය. ප්‍රසන්න කළ විස්තරයට සාවධානව අසා සිටි ජනාධිපති ඔහු ඉදිරියේදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස දේශපාලන ගුරුහරුකම් රැසක් ලබාදුන්නේ ප්‍රසන්නට හිතාගත නොහැකි පරිදිය.

ජනාධිපති නිල නිවෙසින් පිටතට පැමිණි ප්‍රසන්න එහි සිටි නිලධාරියකුට පවසා තිබුණේ තමාගේ ඔළුවේ තිබූ ප්‍රශ්න රාශියක් ජනාධිපතිවරයා වචන කීපයකින් විස¼දා දැමූ බවය.

යාලේ අයාලේ යෑම

වැඩේ යට ගැසුවාද?

යාල ජාතික වනෝද්‍යානයට සුඛෝපභෝගී වාහන ගණනාවක් ඇතුළු වී වන සතුන්ට හානිවන ලෙස තරුණ කණ්ඩායමක් ක්‍රියාකර ඇති බවට පළ වූ පුවත රට පුරා ආන්දෝලනයක් ඇති කරන්නට විය. ජනාධිපති රනිල්ටද මේ පුවත කන වැටුණේ ඉකුත් බදාදා පෙරවරුවේයි. සිද්ධියට ඇමැති පුතකු සම්බන්ධ බවට තොරතුරු පැවැති බැවින් වහාම මේ ගැන සොයා බලන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේය.

ඇමැති පුතෙක් මේ සිද්ධිය පිටුපස සිටින බවට තොරතුරු පැතිර ගියත්, ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් අනාවරණය වී නැත. තොරතුරු අනාවරණය නොවූවාද, සැඟවූවාද, වැඩේ යට ගැසුවාදැයි කියන්න දන්නේ නැත. මේ සටහන තබන මොහොත වන තුරුත් ජනාධිපතිටත් සැබෑ තොරතුරු වාර්තා වී තිබිණිදැයි දන්නේ නැත.

කෙසේ වෙතත් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන් මෙදින සවස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවන්නැයි ජනාධිපති සිය ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ලේකම් කාර්යාලයට පැමිණි නිලධාරීන්ගෙන් ජනාධිපති විමසා සිටියේ මොකක්ද මෙතැන වෙලා තියෙන්නේ කියායි. ජනාධිපතිවරයාට සියලු තොරතුරු හෙළි කළ නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතියද වාර්තා කළේය.

ර්ණීජ්ජ් අර්ණීඒච්වලට යාල තහනම්

සිද්ධිය ගැන නොසතුටින් සිටි ජනාධිපති “මින් ඉදිරියට ලියාපදිංචි නොකළ කිසිදු වාහනයකට යාල වනෝද්‍යානයට ඇතුළු වෙන්න බෑ. වන සතුන්ට නිදහසේ ඉන්න තියෙන්න ඕනෑ. ඕෆ් රෝඩ් වාහනවලට යන්න වෙනත් ස්ථාන තියෙනවා. කැලේ ගිහින් ඒවා කරන්න බෑ”යි තදින් කියා සිටියේය.

යාලට පමණක් නොවෙයි, විල්පත්තු, හෝටර්තැන්න, සිංහරාජය, ශ්‍රී පාද රක්‍ෂිතය ආදී කිසිදු ජාතික වනෝද්‍යානයකට අවසර නැතිව වාහන කිසිවකට ඇතුළු වීමට ඉඩ දෙන්න එපායි නිලධාරීන්ට තදින් උපදෙස් දුන් ජනාධිපති, පරිසරය, වනාන්තර මෙන්ම සොබා සෞන්දර්ය සුරැකෙන නීති ගෙන ඒමේ නව පනතක් ගැනද මෙහිදී සාකච්ඡා කළේය. එම පනත කඩිනමින් සකස් කරන ලෙසත්, පරිසර හානි කරන්නන්ට දෙන දඬුවම වැඩි කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැඩිව උපදෙස් දුන්නේය.

මේ පනත තුළට ඒ සියල්ල ඇතුළත් කළ හැකි බව පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ජනපති හමුවේ කීවේය.

“කැබිලිත්තටත් දැන් යන පිරිස වැඩියි නේ”දැයි නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ ජනාධිපති කැබිලිත්ත ශුද්ධ භූමියක් ලෙස ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාවද නිලධාරීන්ට පෙන්නා දුන්නේය.

රනිල්ගේ ඔළුවේ ජනාධිපතිවරණය

වැඩ කරන හැඩ

එජාප ඇත් රජු වටා මැති ඇමැතිවරු ඇතුළු පිරිවර එකතු වෙමින් සිටින පුවත දැන් සනාථ වෙමින් තිබේ. එජාප නායක රනිල්ද පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති දීපවාලි උත්සවයේදී ඒ බව සඳහන් කළේ “අපිත් එක්ක දැන් අනෙක් පක්‍ෂවල අය එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඒකට අපි සූදානම් වෙන්න ඕනෑ” කියාය. රනිල් අනාගත දේශපාලන දැක්මක් ඇතිව ක්‍රියා කරන අයකු බැවින්, ඔහු එසේ සඳහන් කරන්නට ඇත්තේ තව වසර දෙකකින් එළැඹෙන ජනාධිපතිවරණය ගැන ඔළුවේ මවාගෙන දැයි කියන්න දන්නේ නැත. දැනට සති දෙකකට පෙර පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති කියා තිබුණේ බුලත් අතක් දීලා මට වැන්දත් අවුරුදු දෙකහමාරක් යනකම් ආණ්ඩුව විසුරුවන්නේ නැති බවයි. රනිල් දේශපාලන අනාගතය ගැන යම් යම් අවස්ථාවල ගිනි පුඟුරු විසිවෙන්නාක් මෙන් කාරණා සඳහන් කරන්නෙකි. අනෙක් පක්‍ෂවල අය අපිත් එක්ක එකතු වෙන්න සූදානම් යැයි කීවේ යූ.එන්.පී.ය සමඟ එකතු වෙන්න පිරිස් මඟබලා ගෙන සිටින බව විය හැකිය.

රනිල් සමඟ කණ්ඩායම් එකතු වෙන්න තිබෙන සූදානම ගැන කියද්දී එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර “සර් ගමින් ගමට යද්දී අපිත් ගමින් ගමට යන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නේ”යි කියද්දී, “ඔව්! ඒක හොඳයි. පක්‍ෂ දේශපාලන වැඩකටයුතු ආරම්භ කරගෙන යන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්න අයටත්  ඒක ලොකු හයියක් වෙයි“ ජනපති රනිල් කීවේ ඔහුගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කර ගන්නට විය හැකිය.

රජයේ වැඩවලට

දේශපාලනය ගාවන්න එපා

නියෝජ්‍ය නායක රුවන්ද මෙහිදී ජනපතිට යෝජනාවක් කළේ, “සර් බිම් මට්ටමේ පාක්‍ෂිකයෝ ආරක්‍ෂා කරගන්න ඕනෑ. රජයෙන් ආරම්භ කරලා තියෙන සුබසාධන වැඩපිළිවෙළට අපේ අයත් සම්බන්ධ කරගන්න කියලා අපේ ආසන සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් තියෙනවා.” ජනාධිපති ඒ යෝජනාවට කැමැත්තක් දැක්වූයේ නැත. “රජයේ වැඩවලට දේශපාලනය ගාවගන්න එපා කියලා මම කියලා තියෙනවා. අපි මේකට වෙන විධියක් බලමුයි“ ජනාධිපති ප්‍රතිචාර දැක්වීය.

සභාපති වජිර, ජාතික සංවිධායක සාගල ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. සාකච්ඡාවට මුල්වූයේ දීපවාලි උත්සවය හා සම්බන්ධවය. මේ අවස්ථාවට සජබ මනෝ ගනේෂන්ද සහභාගි වී සිටියේය. සඳුදා සවස මේ උත්සවයට වේලාව වෙන්කර ගත් නිසා සඳුදා සවස පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අඟහරුවාදාට කල්තබා ගත්තේය.

සමගි ජන බලවේගයේ

පක්ෂ සම්මේලනය

සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සූදානම් වෙයි. එහි බර කරට ගෙන සිටින්නේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි.

සභාපති සරත් ෆොන්සේකා, මෙහෙයුම් ප්‍රධාන නලින් බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂ, එරාන්, මරික්කාර්, මුජිබර්, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පිරිසක් එම කමිටුවට සම්බන්ධ වී සිටිති.

මහ ලේකම් මද්දුමබණ්ඩාර කියන්නේ, මෙදා සම්මේලනය තියන්නේ එක හෝල් එකක නොව ජන රැලියක් විධියට බවයි.

බෙනට් රූපසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here