මහා පරිමාණ මුදල් වංචාවකට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි විසින් සිදුකරන ලද තවත් සූක්‍ෂ්ම වංචාවක් හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා (28දා) සමත් විය. ඒ ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් රුපියල් කෝටියකට අධික රත්රන් කිලෝවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකක 2 නිලධාරීන් කළ සාර්ථක විමර්ශනයකදීය. මාලබේ තලාහේන, දාමුගහවත්ත, සිසිලපුර පදිංචි අබ්දුල් හසන් කමල් හසන් කෝටිපති ව්‍යාපාරිකයකු වූ අතර රන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම, මැණික් වර්ග මිලට ගෙන ඒවා ඔපමට්ටම් කර විදේශ රටවලට අලෙවි කිරීම සහ විදේශ රටවල් සමඟ මුදල් වර්ග ගනුදෙනු කිරීම වැනි ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වෙයි.
ඉසුරු බණ්ඩාර නමැත්තාගේ මාර්ගයෙන් තිළිණි ප්‍රියමාලි හඳුනාගෙන ඇති කමල් හසන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ ඇය පවත්වාගෙන ගිය කාර්යාලයට ගොස් ඇය මුණගැසී හිතවත්කමක් ඇති කරගෙන ඇය සමඟ මුදල් ගනුදෙනුද සිදුකර තිබිණි. ඒ ලාබයක්ද සමඟ දුන් මුදල් ලබාදෙන බවට තිළිණි දුන් පොරොන්දු මතය.
කෙසේ වෙතත් කල්යෑමේදී පොරොන්දු වූ පරිදි තිළිණි මෙම ව්‍යාපාරිකයාට කිසිදු මුදලක් නොගෙවීම මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇමරිකානු ඩොලර් 60,000ක්, ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් සහ රන් භාණ්ඩ කිලෝ එකක් ලබාගෙන ඒ සඳහා තමාට අගරු චෙක්පත් ලබාදුන් බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශන භාරවූයේ එහි වාණිජ අපරාධ විමර්ශන අංශ 2 ස්ථානාධිපතිනි නිරෝෂණී හේවාපතිරණ වෙතය.
ඒ අනුව ව්‍යාපාරික කමල් හසන්ගේ පැමිණිල්ලට අනුව තිළිණි ප්‍රියමාලිද රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් ලබාගත් එම ඒකකය ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන්නට විය.
අධිකරණය සැකකාරිය රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර ඉන් අනතුරුව කමල් හසන් නමැති ව්‍යාපාරිකයා විසින් තිළිණිට ලබාදුන් මුදල් සහ රන් ආභරණ කිලෝවට සිදුවූ දේ සොයන්නට අංක 2 විමර්ශන නිලධාරීන් කණ්ඩායම දැඩි උත්සාහයක් ගත්හ. මේ වන විට තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන්ද විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියහ. ඒ තිළිණි වංචා කළ රුපියල් මිලියන තුන්සිය ගණනක මුදල්වලට සිදුවූ දේ දැනගන්නටය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉසුරු බණ්ඩාර වාණිජ අපරාධ විමර්ශන අංශ 2 ස්ථානාධිපතිනිය වෙතද කැඳවනු ලැබීය. එහිදී කමල් හසන් නම් වූ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව නිලධාරීන් ඉසුරුගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.
එවිට ඔහු කීවේ මෙවැන්නකි.
“මම කමල් හසන් හඳුනාගන්නේ 2021 මුල් කාලයේ. තිළිණි මට දෙන මුදල් කමල් හසන්ගේ ආයතනයේ ඩොලර්වලට මාරු කරන්න ගිය අවස්ථාවකදී තමයි මම එයාව හඳුනා ගත්තේ”
එයාගේ පෙම්වතා විදියට තමයි තිළිණි මාව කමල් හසන්ට හඳුන්වලා දුන්නෙ.
“දවසක් තිළිණිව එක්ක ගෙන එන්න මම එයාගේ ඔෆිස් එකට ගිය වෙලාවේ ඩිරෙක්ටර්යි තවත් පුද්ගලයන් දෙදෙනෙක් එක්ක තිළිණි රත්තරන් බඩු වගයක් බලමින් හිටියා. ඒ දිනය මට මතක නැහැ. එතැන හිටිය අනිත් දෙන්නා මම හඳුනන්නේ නැහැ. ඒ රත්රන් කමල් හසන්ගේ කියලා මම දන්නෙත් නෑ.”
ප්‍රශ්න කිරීමේදී ඉසුරු රහස් පොලිසියට පවසා තිබිණි.
රහස් පොලිසිය හමුවේ දීර්ඝ ප්‍රකාශයක් දෙමින් ඔහු තවත් තොරතුරුද නිලධාරීන් ඉදිරියේ පවසා සිටියේය.
“තිළිණි බිස්නස් වැඩවලට කියලා මගෙන් ලක්‍ෂ 5ක් ගත්තා. පස්සේ ඒකට මට ලක්‍ෂ 10ක් දුන්නා. ආයෙත් බිස්නස් වැඩවලට කියලා තවත් රුපියල් ලක්ෂ 15ක් ගත්තා. ඒත් මට ඒ සල්ලි දුන්නේ නැහැ.”
ඉසුරු බණ්ඩාර වරෙක රහස් පොලිසිය හමුවේ කීවේය. ඊට අමතරව තිළිණි තමාට රන්පොලු 10ක් දුන් බවත් ඒවා තම නිවෙසේ පියා භාරයේ තැබූ බවද ඔහු නිලධාරීන් ඉදිරියේ කීවේය. මුදල් අවශ්‍යතාවක් නිසා එම පොලු 10න් දෙකක් විකිණීමට උත්සාහ කළද එම පොලු පිත්තල ඒවා බව ඒ මොහොතේ තමා දැනගත් බවත් ඉසුරු වැඩි දුරටත් කියා සිටියේය.
එහෙත් විමර්ශන අංක 2 නිලධාරීන් ඉසුරුගේ ප්‍රකාශය ගැන දැඩි අවධානයෙන් පසුවිය. ඉසුරු සන්තකයේ ඒ වන විට BMW වර්ගයේ මොටෝ රියක් ඇති බව දැනගත් නිලධාරීන් එවන් වාහනයක් මිලදී ගන්නට තරම් මුදල් තමාට ලැබුණේ කෙලෙසදැයි ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.
“2020දී ඔය BMW කාර් එක රුපියල් ලක්‍ෂ 250කට යාළුවකුගෙන් මම ගත්තේ.
ඒක ගන්න අම්මයි, තාත්තයි රුපියල් ලක්ෂ 150ක් දුන්නා. මගේ බිස්නස්වලින් හම්බකරපු ලක්‍ෂ 75ක් තිබුණා. තිළිණි මට තෑග්ගක් විදිහට ලක්‍ෂ 25ක් දුන්නා. ඒ ලක්‍ෂ 250න් තමයි BMW එක ගත්තේ. 2022 ජූලි මාසයේ මම ඒක රුපියල් ලක්‍ෂ 340කට වික්කා.”
මෙවන් සැක සහිත ප්‍රකාශ ඉසුරු විසින් වාණිජ අපරාධ විමර්ශන අංශ 2 ඒකකයට ලබාදී තිබිණි. ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක යෙදිණි. ඒ අධ්‍යක්‍ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙසිනි.
මේ අතර ඉසුරු බණ්ඩාර ඒ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් ඔහු පවසන පරිදි තිළිණි විසින් ලබාදුන් බව කී රත්රන් පොලු පිළිබඳවද සොයා බැලීමට එම ඒකකය විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව ඒකක අංක 2 ස්ථානාධිපතිනිය ගේ උපදෙස් මත කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉසුරු පදිංචිව සිටි පිළිමතලාව ප්‍රදේශයේ නිවෙස සෝදිසි කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමට නිලධාරීන් කටයුතු කරන ලදී.
පසුව ඉකුත්දා එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පිළිමතලාවට ගියේ ඉසුරු බණ්ඩාරගේ නිවෙස සෝදිසි කිරීමේ අදහසිනි.
එම නිවෙසේ ඉසුරු පදිංචිව සිටි කාමරයක තිබී රන් පොලු 8ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබේ.
2020දී රන් කිලෝ 10ක් තිළිණි ලබාදුන් බව පවසා ඔහු පියාට ඒවා ලබාදී තිබිණි. පසුව ඉන් පොලු 2ක් ඉසුරු රැගෙන ගොස් ඇත. තිළිණි තමාට ඒවා ලබා දුන්නේ ගත් මුදල පියවීමට බවට ඉසුරු පියාට පවසා තිබේ. එහි ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ඉසුරුගේ මව සහ පියා රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමටද නිලධාරීන් කටයුතු කරන ලදී.
එම දැනුම්දීමට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා ඉසුරුගේ මව රහස් පොලිසිය හමුවේ පෙනී සිටියද ඉසුරුගේ පියා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෙනත් දිනයක රහස් පොලිසිය වෙත පැමිණෙන බව දන්වා තිබිණි.
ඉසුරුගේ මව ගුරු වෘත්තියේ යෙදී සිටින අතර ඉසුරුගේ පියා නාවික ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කර මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටී.
රහස් පොලිසියට පැමිණි ඉසුරුගේ මවගෙන් විමර්ශන නිලධාරීහු ඉසුරුට වාහනයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 150ක් ලබාදීම සඳහා මුදල් ලැබුණේ කෙසේදැයි විමසන්නට වූහ.
එහිදී නිලධාරීන් හමුවේ ඇය පවසා තිබුණේ 2015 වසරේදී ඉඩමක් විකුණා රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබාගත් බවකි. එය ඉසුරු වාහනය මිලදී ගත් 2020 තෙක් අල්මාරියේ තිබූ බවද ඇය රහස් පොලිසිය හමුවේ කියා සිටියාය. එහෙත් නිලධාරීන් ඇගේ ප්‍රකාශය ගැන එතරම් පැහැදීමකින් සිටියේ නැත.
මේ අතරතුරදී කමල්හසන් විසින් තිළිණිට ලබාදුන් බව කියන රත්රන් කිලෝව සම්බන්ධයෙන් තොරතුරක් අපරාධ විමර්ශන ඒකක අංක 2 නිලධාරීන්ට ලැබිණි. රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් මත එම රත්රන් කිලෝව සොයා ගැනීමේ මෙහෙයුම එම ඒකකය දියත් කෙරිණි.
ඒ අනුව ඒකකයේ නිලධාරීන් තිළිණිගේ මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරයකු කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර කමල් හසන් සතුව තිබූ එම රන් ආභරණ තොගය තිලිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධව ගනුදෙනු කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට එක් හේතුවක් විය.
ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ එම රන් කිලෝව ජාඇළ ප්‍රදේශයේ ස්වර්ණාභරණ හිමිකරුවකුට ලබාදුන් බවකි. එම ස්වර්ණාභරණ හිමිකරු අධ්‍යක්ෂවරයා දන්නා කියන අයකු විය.
පසුව රහස් පොලිස් කණ්ඩායමක් ස්වර්ණාභරණ හිමිකරු පසුපස ලුහු බඳින්නට වූ අතර නිලධාරීන් ජාඇළ ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන යන ස්වර්ණාභරණ අලෙවිහලට ගියද හිමිකරු එහි නොවීය. පසුව ඔහු හෙට්ටිවීදියට ගොස් ඇති බව දැනගත් නිලධාරීහු හෙට්ටිවීදියේදී ඔහු අත්අඩංගුවට ගත්හ.
ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ තිළිණිගෙන් ලබාගත් රන් ආභරණ සියල්ල ඒ වන විටත් උණු කර අවසන් බවය. තමා එම රන් බඩු මිලදී ගැනීම සඳහා තිළිණි ප්‍රියමාලිගේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය කාර්යාලයට ගිය බවද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන්නට විය.
පසුව ඔහුවද අත්අඩංගුවට ගත් රහස් පොලිස් නිලධාරීන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී උණු කරන ලද රත්රන් පවුම් 60ක් සොයා ගෙන තිබිණි. ඉතිරි පවුම් 40 විකුණා වෙනත් මාල , මුදු, වළලු, කරාබු නිපදවා තිබූ අතර එම රන් ආභරණද රහස් පොලිසියේ වාණිජ විමර්ශන ඒකක 11 නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබිණි.
තවදුරටත් කරන ලද සෝදිසි කිරීමේදී ජාඇළ ස්වර්ණාභරණහලේ සේප්පුවක තිබී රුපියල් ලක්ෂ 30ක්ද සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි වී තිබේ. එමෙන්ම තිලිණිගේ මුදල් මොහුගේ බැංකු ගිණුම්වල ඇත්දැයි යන්න සෙවීමට විමර්ශනයක්ද අරඹා තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තිළිණිගේ මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරයාත් රන් ආභරණ කිලෝව ලබාගත් ස්වර්ණාභරණ හල් හිමිකරුත් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකාර අධ්‍යක්ෂවරයා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 11 ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද මෙම සාර්ථක විමර්ශනය හේතුවෙන් තිළිණි ප්‍රියමාලි විසින් කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් වංචා සහගත ලෙස ලබාගත් කියන රත්රන් කිලෝවට සිදු වූ දේ මෙසේ අනාවරණය කර ගත හැකි විණි.
විමර්ශනයේදී සොයාගත් රන් ආභරණ සහ මුදල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අධ්‍යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත වාණිජ අපරාධ විමර්ශන අංක II ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවාපතිරණ මහත්මියගේ මෙහෙයවීම මත එම ඒකක අංක 2 නිලධාරීන් මෙම සාර්ථක විමර්ශනයට දායක වී තිබිණි.
කීර්ති මෙන්ඩිස්






