Home Local News Room : චීන යුවළක් පිරමීඩ ජාවාරමකින් ලංකාවේ අටදාහකගේ බිලියන 14කට විදලා

News Room : චීන යුවළක් පිරමීඩ ජාවාරමකින් ලංකාවේ අටදාහකගේ බිලියන 14කට විදලා

6
0

“ස්පෝර්ට් චේන්” නමින් පිරමීඩ ආකාරයෙන් නීති විරෝධීව ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මෙරට විවිධ තරාතිරමේ පුද්ගලයන් 8,000ක් මුළාකර රුපියල් කෝටි 1,400කට අධික වංචාවක් සිදු කළ බව කියන චීන ජාතික යුවළක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසු ශ්‍රී   ලාංකිකයකු වන ශාමල් කීර්ති බණ්ඩාර නමැත්තකු හා  චීන ජාතික යුවළක් එසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චීන ජාතික යුවළ පෙම්වතුන් බවට කරුණු අනාවරණය වී ඇති බවද ඔවුන් දෙදෙනා රටින් පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී ඉකුත් 12 දින කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය.

ශ්‍රී  ලාංකිකයා හා මෙම චීන ජාතික යුවළ මෙරට විවිධ පුද්ගලයන් තරු පහේ හෝටල් වෙත කැඳවා සාකච්ඡා පවත්වා මෙම ව්‍යාපාරය හරහා අධික ප්‍රතිලාභයක් ලැබෙන බව පෙන්වාදී ඔවුන් සතු මුදල් ආයෝජනය කරවාගෙන රුපියල් කෝටි 1,400කට අධික මුදලක් එසේ වංචා කර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

සැකකරුවන් තිදෙනා නිර්මාණය කළ පරිගණක මෘදුකාංගයක් උපයෝගී කරගනිමින් ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීමක් ලෙස පෙන්නුම් කරමින් මෙම වංචාව සිදුකර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම සැකකරුවන් තිදෙනා 2020 වසරේ සිට මෙම වංචනික ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් ජංගම දුරකථන හා කෙටි පණිවුඩ යවමින් මෙම ජාවාරමට පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඇති බවද ඒ මහතා පැවැසීය.

මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ පුද්ගලයන් අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවන්හිදී ඉහළ සිට පහළට පැවැති  සම්බන්ධතාවන් මොවුන් විසින් බිඳ දමා පිරමීඩයේ පහළම දෙදෙනා අතර පමණක් සබඳතා පවත්වාගෙන යමින් මෙම වංචනික ක්‍රියාව කරගෙන ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අධික ලාභ අපේක්ෂාව නිසා මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස තමා මෙරට සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here