ප්‍රබල එංගලන්ත පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5කින් පරාජය කළ අයර්ලන්තය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු පෙරළිය කළ කණ්ඩායම බවට පත්විය.
මෙල්බර්න් ක්‍රිකට් පිටියේදී පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ අයර්ලන්තය ලැබූ ලකුණු 157ට පිළිතුරු සැපයූ එංගලන්තය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 14.3කදී කඩුලු 5කට ලකුණු 105ක් ලබා සිටි නමුත් ඒ අවස්ථාව වනවිට එංගලන්තයට ලකුණු 110ක් ලබාගත යුතුව තිබිණි.
ලකුණු 158ක ඉලක්කයක් පසුපස හඹායෑමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භය සතුටුදායක නොවීය. එංගලන්ත ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු දෙපොළ අන්දමන්ද කරමින් පන්දු යැවූ ජොස් ලිට්ල් පළමුව නායක ජොස් බට්ලර් ලකුණු ලබාගැනීමට පෙරත්, ඇලෙක්ස් හේල්ස් ලකුණු 7කටත් ක්‍රීඩාගාරයේ ඔවුන්ට හිමි ආසන වෙත හරවා යැව්වේය. ලකුණු 14කට කඩුලු 2ක් බිඳ වැටී තිබූ ඉනිම ගොඩගැනීමට පැමිණි බෙන් ස්ටොක්ස්ටද වැඩි යමක් කිරීමට ඉඩ ලබා නොදුන් හෑන්ඩ් ලකුණු 6ක් ලබා සිටි ස්ටොක්ස්ගේ මැද ඉන්න ගලවා දැමීය.
ලකුණු 29කට කඩුලු 3ක් අහිමිව ගොස් බෙල්ල මුලටම හිර වී සිටි එංගලන්තය ගොඩගැනීමට ඩේවිඩ් මලාන්ට එකතු වූ හැරී බෘෘක් උත්සාහ දැරූවද සිවුවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 38කට සීමා කිරීමට ඩොක්රෙල් සමත්වූයේ ලකුණු 18ක් ලබා සිටි බෘෘක් ක්‍රීඩාගාරයට හරවා යැවීම හේතුවෙනි.
එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 19ක් එකතුවෙද්දී එංගලන්ත ලකුණු මැෂිම ලෙස විරුදාවලිය ලබන ඩේවිඩ් මලාන්ද ක්‍රීඩාගාරයට හරවා යැවීමට මැකාර්ති සමත්වූයේ එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 86ක් ලෙස පරිවර්තනය කරමිනි.
අවසන් මොහොතේදී මොයින් අලී එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යෑමට බලවත් පරිශ්‍රමයක් ගත්තද වර්ෂාව හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ වී ගියේය.
කෙසේ වෙතත් වෙතත් මෙම පරාජයත් සමඟින් එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැනට ඇද වැටුණු අතර, තෙවැනි තැන සිටි ශ්‍රී ලංකා පිලට දෙවැනි තැනට උසස්වීමක් ලබාගැනීමට හැකි වීමද
විශේෂත්වයකි.
එංගලන්තයේ ආරාධනයෙන් ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත ආරම්භ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නන් පළමු කඩුල්ල ලකුණු 21ක් තුළ බිඳහෙළිමට සමත්විය.
පන්දු 8කදී ලකුණු 14ක් ලබා සිටි පෝල් ස්ට්රලිංග් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට වුඩ් සමත්වන විට අයර්ලන්ත ලකුණු පුවරුව ලකුණු 21ක් ලෙස දැක්විණි. එහෙත් ඉන් අනතුරුව එංගලන්ත පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් ක්‍රීඩා පිටිය තමන් යටතට ගැනීමට ඇන්ඩි බැල්බර්නි හා ලෝකන් ටකර් සමත්වූයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක වේගවත් සබඳතාවක්ද පවත්වමිනි.
ලකුණු 103ක්ව තිබියදී ලකුණු 34ක් ලබා සිටි ටකර් දුවද්දී දැවී යෑමත් සමඟ තරගයේ පාලනය එංගලන්තයට නතු වනු බව පෙනිණි. එම ලකුණු ප්රමාණයේදීම අයර්ලන්ත පිලේ තෙවැනි කඩුල්ල ලෙස හැරී ටැක්ටර් ලකුණු ලබාගැනීමට පෙර දවාගත් වුඩ් අයර්ලන්ත දිගු ගමනට හරස් කැපීය. අනතුරුව බැල්බර්නි සහ කර්ටිස් කැම්පර් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 29ක් එක් කරමින් අයර්ලන්ත ලකුණු පුවරුව ලකුණු 132 දක්වා රැගෙන ආවේය.
ඒ අවස්ථාවේදී හොඳින් පන්දුවට පහර දෙමින් සිටි බැල්බර්නි ලකුණු 62කට දැවී යාමත් සමඟ අයර්ලන්තය නැවතත් අමාරුවේ වැටිණි. පන්දු 47කට මුහුණ දී හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක්ද බැල්බර්නිගේ ඉනිමට ඇතුළත් වූ අතර, ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි ජෝර්ජ් ඩොක්රෙල්ද කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවූ ලිවිංග්ස්ටෝන් සමත්විය.
ඉන් අනතුරුව කිසිදු අයර්ලන්ත පිතිකරුවකුට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නන් අයර්ලන්ත ඉනිම ලකුණු 158ට මෙහායින් රඳවා ගත්තේය. මේ අතර ඊයේ රාත්රියේදී පැවැති නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිනි.
ලකුණු සාරාංශ
අයර්ලන්ත – එංගලන්ත තරගය
අයර්ලන්තය (පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී) 157 (ඇන්ඩි බැල්බර්නි 62, ලෝකන් ටකර් 34, කර්ටිස් කැම්පර් 18, පෝල් ස්ට්රලිංග් 14, ගැරත් ඩිලේනි නොදැවී 12, ලිවිංග්ස්ටෝන් 3/17, වුඩ් 3/34, කරන් 2/31, ස්ටොක්ස් 1/8)
එංගලන්තය (පන්දුවාර 14.3කදී කඩුලු 5කට) 105 (ඩේවිඩ් මලාන් 35, මොයින් අලී නොදැවී 24, ඇලෙක්ස් හේල්ස් 07, බෙන් ස්ටොක්ස් 06, ලිට්ල් 2/16, ඩොක්රෙල් 1/5, හෑන්ඩ් 1/17, මැකාර්ති 1/20
විචිත්‍ර වීරසිංහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේ සිට..