මුදල් රුපියල් ලක්ෂ 21ක් කොල්ල කෑ සිද්ධියට අනුබල දුන් තව ත් සැකකරුවෙකු ඊයේ (ඔක්. 25) සවස් කාලයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 63ක් වන මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කළේ, සැකකරු සන්තතකයේ තිබී කොල්ල කෑම සඳහා භාවිත කළ යතුරු පැදියක් සහ මුදල් රුපියල් 100,000 සොයා ගෙන ඇති බව ය.
සැකකරු අද (ඔක්. 26) මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මොරටුව පිහිටි වෙළෙඳසලක සේවකයෙකු එම වෙළෙඳසලේ රුපියල් ලක්ෂ 21ට අධික මුදලක් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී මෙම කොල්ල කෑම සිදු වී ඇත.
මුදල් තැන්පත් කිරීමට ගිය අදාළ සේවකයා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කර මුදල් කොල්ල කා ඇති බවට මොරටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් සිදු කර තිබේ.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු ඔක්. 22 වන දා දහවල් කාලයේදී රත්මලාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 වයස්වල පසුවන රත්මලාන හා ගල්කිස්ස ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
කොල්ලකෑම් සඳහා භාවිත කළ කුලී පදනම මත ලබා ගත් වෑන් රථයක්, ඔවුන් භාවිත කළ යතුරුපැදියක්, ත්රිරෝද රථයක් සහ තියුණු ආයුධයක් ද සමග අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.