ඉදිරි මැතිවරණයකදී පොදුජන එක්සත් පෙරමුණේ විශාල කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්ව තරග වැදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් ඊයේ (25දා) පැවැසීය. මහනුවර බද්උද්දීන් මහමුද් බාලිකා විදුහලේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය.
මේ වන විට මේ රටේ පවතින දේශපාලන ක්‍රමයට අනුව පක්ෂ මාරු කිරීම, පිල් මාරු කිරීම ඉතා සරල දෙයක්. කවුරු කොහේට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙන විට ආණ්ඩු පක්ෂයේ විශාල කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්ව දේශපාලන ගමනක් යන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා. අපි හිතන විදිහට 30ක් 40ක් විතර විශාල කණ්ඩායමක් මේ ආකාරයෙන් දේශපාලන පිම්මක් පැනීමට සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය වේවි.
මෙතෙක් කල් රටේ ජනතාව බලාගෙන සිටි කපුටු නාඩගම දැන් ඉවරයි. දැන් අලුත් නාඩගමක් කරළියට එන්න සූදානම්. ජනාධිපතිතුමාගෙන් අපිටත් ආරාධනා තියෙනවා ඔහු සමඟ එක්ව කටයුතු කරන්න කියලා. නමුත් අපි කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන අවස්ථාවේ පිල් මාරු කිරීමක් කරන්න හොඳ නැහැ කියලයි හිතන්නේ. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා. නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තහනම් කරලා තියෙනවා. මේ රටේ නීතියට රටේ සෑම පුරවැසියෙක්ම හිස නැමිය යුතුයි. දිවිත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් වහාම නම්බු පිටින් ඒ බව සඳහන් කරලා ඉවත්වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් කීය.
මහනුවර – කේ.එල්. සුරවීර






