මැල්සිරිපුර, 15 කණුව, රේස්වත්ත ප්රදේශයේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරය ඔහුගේ නිවස පිටුපස කසල දමන වළක් තුළ තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔක්තෝබර් 13 වන දා අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට මැල්සිරිපුර පොලිසිය ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව ය.
ඒ අනුව, ඊයේ (ඔක්. 24) දින අතුරුදන් වූ පුද්ගලයාගේ නිවස අවට පරීක්ෂා කිරීමේදී රෙදිකඩක් වැනි යමකින් ඔතා තිබූ ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 69ක් වූ රේස්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර ඔහුගේ නිවසේ වැඩ කටයුතු සඳහා මාස තුනක පමණ සිට වයස අවුරුදු 43ක් වූ වැල්ලව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහයට පැමිණ ඇත.
මෙම පුද්ගලයා ද ඔක්. 23 වන දින එම නිවස තුළදී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති අතර පොලිසිය සඳහන් කළේ, ඔහු මෙම සැකකටයුතු මරණයට සම්බන්ධතාවක් ඇති ද යන්න පොලිසිය විමර්ශන සිදු කරන බව ය.
මෘත ශරීරය සිද්ධිය සිදු වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (ඔක්. 25) දින සිදු කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධව මැල්සිරිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






