විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහා ම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ‘මව්බිමට‘ පැවසීය.
කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බව ත්, විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බව ත් හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවසූ වික්‍රමනායක මහතා, මේ සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේ ය.
විහාර හා දේවාලගම් පනතට සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බව ත්, විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් ඇමතිවරයා පැවසීය.
මෙවැනි කරුණුවලදී සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම වැරදි කරන භික්ෂුන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බව පෙන්වා දෙයි.
බුද්ධ ශාසනයෙන් හෝ අනෙකුත් ආගම්වලින් ප්‍රායෝගික මිනිසෙකු බිහිකර ගැනීමට නොහැකි වී තිබෙන බව ත්, භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන් ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතු බව ත් වික්‍රමනායක මහතා කීවේය.
පුද්ගලයන් අවබෝධයකින් තොරව මහණකමට ඇතුළත් වන තාක්කල් කොතරම් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළ ද ඉන් ප්‍රයෝජනයක් අත්නොවන බව ද ඔහු පැවැසීය. තමන් චීවරය දරනුයේ කුමක් සඳහා දැයි ශාසනයට ඇතුළත් වන පුද්ගලයන් කල්පනා කළ යුතු බව ත්, දුප්පත්කම හේතුවෙන් කුඩා ළමයින් මහණ කිරීම නිසා ද විහාරස්ථානවල ගැටලු ඇතිවන බවත් වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.
විහාරස්ථානවල නායක පදවියට හෝ විහාරස්ථානයේ දේපොළ බෙදාගත නොහැකිව භික්ෂුන් වහන්සේලා අධිකරණවල එකිනෙකාට චෝදනා කරගන්නා බව ත්, මෙවැනි කටයුතු පිළිබඳව තවදුරටත් කල්පනා කර බැලිය යුතු බව ත් හෙතෙම කීවේ ය.
ජනතාව විහාරස්ථානවලින් ඈත්වීම සම්බන්ධව සියලු දෙනා සොයාබැලිය යුතු බව ත්, සෑම විට ම රෝග නිධානයට විසඳුම් සොයා ගැනීම අවශ්‍ය බව ත් වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේ ය.
බොහෝ ගැටලුවලට විසඳුම් ලෙස ස්වාමීන් වහන්සේලාට වෙන වෙන ම නිවාස ඉදිකර දීමට තමාගේ යෝජනාවක් තිබෙන බව ත්, මේ සම්බන්ධව මහනායක හිමිවරුන්ගේ අදහස දැන ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා වැඩිදුරට ත් පැවසීය.






