ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (ඔක්. 25) දිනයේදී විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගෙන් ‘මව්බිම’ කළ විමසීමකදී සඳහන් කළේ, මේ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ද සැලසුම් කොට ඇති බව ය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ද ඇමැතිවරිය චෝදනා කළා ය.
පවතින ප්‍රවණතා හමුවේ එම අධිකාරිය තම නිද්‍රාශීලී ප්‍රතිපත්තියෙන් අවදි වී කාර්යක්ෂමව කටයුතු කළ යුතුව ඇතැයි ද ඇය කීවා ය.
එමෙන් ම, යම් නිලධාරියෙකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂමව කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකි යැයි ද ඇමතිවරිය අවධාරණය කළා ය.
එමෙන් ම, ඉදිරියේදී ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරිය ලෙස නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ද ගීතා කුමාරසිංහ තවදුරට ත් පැවසුවා ය.
- මිතුන් ජයවර්ධන, සවනි ශේශාධි






