පකිස්ථාන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබිහිදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
“මට මිතුරෙකු, සැමියෙකු මෙන් ම මම කැමති ම මාධ්‍යවේදියා අද අහිමි වුණා. පොලිසිය සඳහන් කරන පරිදි ඔහුට කෙන්යාවේදී වෙඩි තබලා,” යනුවෙන් ඇය සඳහන් කර ඇත.
අර්ෂාඩ් ෂරීෆ් පකිස්ථානය හැර ගොස් මාස දෙකකට පමණ පසු මෙලෙස කෙන්යාවේදී ඝාතනයට ලක් වී තිබේ.
පකිස්ථානයේදී ඔහුට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඩුබායි වෙත පළා ගොස් තිබුණු අතර එහිදී ද එල්ල වූ ජීවිත අවදානම හේතුවෙන් ඔහු කෙන්යාව වෙත ගොස් තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
49 හැවිරිදි මාධ්‍යවේදියෙකු වන ඔහුට එරෙහිව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන ෂාබාස් ගිල් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් රාජද්‍රෝහී චෝදනා ඇතුළු විවිධ නඩු පැවරීමෙන් පසු අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා අගෝස්තු මාසයේදී රටින් පළා ගොස් තිබිණි.






