අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කොට තමන්ගේ දේශපාලන බලය පෙන්වීමට උත්සහ කළ කණ්ඩායම්වලට පාපෝච්චාරණයක් කොට නැවත නිවැරදි වීමට අවස්ථාව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අරගලයට සම්බන්ධ නොවුණු තරුණයන් සහ අරගලය හේතුවෙන් නොමග ගිය තරුණයන් සමග සාකච්ඡා කිරීමට තමන් ඕනෑ ම අවස්ථාවක සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
අරගලකරුවන් සම්බන්ධව තමන් මීට පෙර සිදුකළ ආරාධනය ඉදිරියටත් වලංගු බව පැවසූ හෙතෙම තමා සොයා බලනුයේ තමන්ගේ අනාගතය ගැන නොව මෙම තරුණයන්ගේ අනාගතය ගැන බව ප්‍රකාශ කළේ ය.
තරුණ පිරිසක් සමග සූම්තා ඔස්සේ ‘යූත් ඉන් ගවර්නන්ස්’ නමැති වැඩසටහනට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
තරුණයන්ට නිවැරදි වීමට ඉඩදිය යුතු බව ත්, එවැනි අවස්ථා වැළැක්විය යුතු නැති බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
අරගලය හේතුවෙන් නොමග ගිය තරුණයන් වැරැද්දක් කොට රටට හානියක් කළ බව වටහා ගත යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
ඕනෑ ම රටක ආර්ථික තත්ත්වය දුෂ්කර වන විට විවිධ පියවර ගැනීමට සිදුවන බව ත් එය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය කරයි නම් ඒ දෙස අලුතින් බැලිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.






