“මහවැලි ගඟේ ඉතාම සැඩ ජල පහරක් තිබුණා. ධාරානිපාත වර්ෂාව නිසා සැඩ පහර වැඩි වෙලා තිබුණේ. නාන්න ගිහින් සෙල්ෆියක් ගන්න හදද්දි පළමු සිසුවා ගහගෙන ගිහින් කියලත් කියනවා. එයාව බේරගන්න තවත් සිසුවෙක් පැනලා. එයාවත් ගහගෙන ගිහින්. ජීවිතාරක්ෂක කණ්ඩායම් ඇවිත් කොහොමහරි එක් සිසුවෙක් බේරගත්තා.”
මහවැලි ගඟේ දිය නෑමට ගොස් පෙරේදා (19දා) සවස සිසුන් දෙදෙනකු ගසාගෙන යෑමේ සිද්ධිය විස්තර කරමින් ප්‍රදේශවාසියෙක් එසේ අදහස් දැක්වීය.
මහනුවර, ගන්නෝරුව සීමා මාලකය ආසන්නයේ හක්කිඳ දූපත් අසලින් මහවැලි ගඟේ දිය නෑමට ගොස් එසේ අතුරුදන් සිසුවා සොයා කණ්ඩායම් කිහිපයක් ඊයේ (20දා) පස්වරුව වනතුරුත් මෙහෙයුම් කළ නමුත් කිසිදු තොරතුරක් නොලද බව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ උසස් පෙළ හදාරන ඉසුරු ලක්ෂාන් සමරනායක නමැති 18 වියැති සිසුවකු බව පොලිසිය කියයි.
ඔහු දන්තුරේ, උඩවෙල පදිංචිකරුවෙකි. දියේ ගසාගෙන යද්දී ගලක එල්ලී දිවි බේරාගත් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ඊයේ (20දා) රෝහලින් පිටව ගොස් ඇත.
සඳමාල් චන්ද්‍රසෝම 18 නමැති එම සිසුවා ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ උසස් පෙළ හදාරන සිසුවකු වන අතර ඔහු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිසුන් සමඟ මහනුවර බාලිකා විදුහලක උසස් පෙළ හදාරන සිසුවියකද ගොස් ඇති අතර උපන් දින සැමරුමක් සඳහා ගොස් මෙම සිසුන් මහවැලි ගඟේ දිය නෑමට ගිය බව කියන අවස්ථාවේ අදාළ සිද්ධියට මුහුණදී තිබෙන බව පොලිසිය පවසයි.
දියේ ගසාගෙන ගොස් ගලක එල්ලී සිටියදී සැඩපහර මධ්‍යයේ තම දිවි නොතකා ජීවිතාරක්ෂක උපකරණ පවා නොමැතිව ඔහු බේරා ගැනීමට කටයුතු කර තිබුණේ මහනුවර ගිනි නිවීම් ඒකකයේ ගිනි භට නිලධාරි දිනේෂ් චමින්ද හේරත් හා ෙදාඩංගොඩ සුරංග යන මහත්වරුන්ය.
අදාළ සිසුවා බේරා ගැනීමට ගිය පළමු අවස්ථාවේ දිනේෂ් හේරත් මහතාද ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු දිවි බේරාගෙන ඇත්තේ අනූනවයෙනි. පසුව යළිත් කඹයක්ද ආධාර කරගනිමින් මීටර් 100ක් පමණ දුරට ජලයේ පිහිනා ගොස් සිසුවා නිරුපද්‍රිතව ගොඩට ගෙන ඒමට ඔහු සමත්ව තිබේ.
පොලිසිය, මහනුවර ගිනි නිවීම් ඒකකය හා යුද හමුදාව කිමි¾දුම්කරුවන් පිරිසකගේ සහාය ලබා ගනිමින් කඹ ආධාරයෙන් අදාළ සිසුවා බේරා ගැනීම සඳහා පැය තුනකට අධික කාලයක විශාල වෙහෙසක් දරා ඇත.
මහනුවර – කේ.එල්. සුරවීර






