Home Local News Room : තනි වූ කතුන් මරණ මාරයාගෙන් නුවර තවත් කතක් නූලෙන්...

News Room : තනි වූ කතුන් මරණ මාරයාගෙන් නුවර තවත් කතක් නූලෙන් බේරෙයි

1
0


මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් අම්පිටිය, වැවතැන්න, පොල්වත්ත ප්‍රදේශයේ නිවසක තනිව ම සිටි කාන්තාවක ඊයේ (ඔක්. 20) අලුයම එම නිවස කොල්ලකෑමට පැමිණි පිරිසකගෙන් අසීරුවෙන් දිවි බේරා ගෙන තිබේ.

සිරියා නානායක්කාර නමැති සිද්ධියට මුහුණ පෑ 64 හැවිරිදි කාන්තාව සඳහන් කරන්නේ, එදින අලුයම් කාලයේ නිවසට ඇතුළු වී ඇති කොල්ලකරුවන් පිරිසක් තමා අල්ලා කටට රෙදි පාන්කඩ ඔබා ගැට ගසා පිහියක් ගෙළට තබා මරණීය තර්ජන කොට තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බව ය.

මර බිය හේතුවෙන් තමා කිසිදු හැලහොල්මනක් නොමැතිව සිටි බැවින් ඔවුන් නිවසේ තිබුණු සියලු ම වටිනා දෑ පැහැරගෙන පළා ගිය බව ඇය පවසයි.

නිවසේ තිබූ රත්‍රන් බඩු, මුදල්, ගෑස් ළිප, ගෑස් සිලින්ඩරය, රෙදි හෝදන මැෂිම මෙන් ම ඉතා වටිනා පෞරාණික භාණ්ඩ රැසක් කොල්ලකරුවන් රැගෙන ගිය බව ද ඇය සඳහන් කරයි.

මහනුවර හා අවට ප්‍රදේශයන්හි නිවෙස් තුළ තනිව ම සිටි කාන්තාවන් තිදෙනෙකු කොල්ලකරුවන් ඝාතනය කොට තිබූ අතර මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ සියලු ඥාතීන් විදේශගතව සිටින අතර ඇය පමණක් තනිව ම මෙම නිවසේ වාසය කොට ඇත.

අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මහනුවර ගඟවටකෝරලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද සේනාරත්න සඳහන් කළේ, මේ වන විට අම්පිටිය ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ වටිනා දෑ සොරකම් කිරීම්, ත්‍රිරෝද රථ පැහැර ගැනීම්, දිවා කාලයේ කොල්ලකෑම් හා පහරදීම් විශාල වශයෙන් සිදුව ඇති බව ය.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කණ්ඩායමක් මෙම සොරකම් සිදු කරන බව ත් මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට කොතෙක් පැමිණිලි කළ ද නිසි පියවරක් ගෙන නොමැති බ වත් එබැවින් මෙම පවතින භයානක තත්ත්වය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ දැනුවත් කිරීමට පියවර ගත් බව ත් ඔහු සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here