Home Local News Room : ආණ්ඩුවේ වැරැදි ආර්ථික පිළිවෙතින් බිලියන 1800ක බදු මුදලක් අහිමි...

News Room : ආණ්ඩුවේ වැරැදි ආර්ථික පිළිවෙතින් බිලියන 1800ක බදු මුදලක් අහිමි වුණා

1
0


රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා පසුගිය වසර තුන තුළදී රජයට බිලියන 1800ක බදු ආදායමක් අහිමි වී ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව දළ වශයෙන් වසරකට අහිමි වී ඇති බදු ආදායම බිලියන 600ක් වන අතර එය රටේ වාර්ෂික ආදායමෙන් තුනෙන් එකක් බවද හෙතෙම පැවැසීය.

ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීම සඳහා 2019 වසරේදී සකස් කර තිබූ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ නම් රට තුළ මෙවැනි ආර්ථීක ගැටලුවක් පැනනොනඟින බවද හිටපු ජනාධිපතිවරයාගේ නොමඟ යෑම නිසා එම බදු ප්‍රතිපත්තිය ඉවත් කර දැමූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වසර තුන තුළදී රජයට අහිමි වූ බදු හානිය ක්ෂණික ඉහළ බදු ප්‍රතිපත්තියක් දමා අයකර ගැනීමට යෑම තුළින් ගැටලු රැසක් මතුවන බවද ඔහු පැවැසීය.

වක්‍ර බදු ප්‍රතිපත්තියකට ගියහොත් භාණ්ඩවල මිල වැඩි වී දුප්පත් අයවලුන් ඇතුළු සියලු දෙනාටම ගැටලු පැනනඟින නිසා සෘජු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතම නොවුණත් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එම මූල්‍ය  අරමුදලේ කොන්දේසිවලට එකඟ වීමට සිදු වන බවද දශක ගණනාවක් තිස්සේ එවැන්නක් සිදුව ඇති බවද හෙතෙම  පැවැසීය.

බදු වැඩි කිරීම තුළින් ජනතාවට සිදුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ – විපක්ෂ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වා සුදුසු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here