අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්මජෝතිකධජ ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේ 1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම ගම් පියසේ දුක්ගන්නා වලව්වේ කුලු¾දුල් පිරිමි දරුවා ලෙස ටිකිරි බණ්ඩාර නිලමේතුමා සහ දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාවට දාව උපත ලැබූහ. හත්වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව 1968දී අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නාහිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත විය.
උන්වහන්සේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් වූහ. ජය ශ්‍රී මහා බෝ සමි¾දුන්ගේ පළමු රන් වැටේ ප්‍රථම රන්කණුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත අවස්ථාව හිමිවීම උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලැබීමයි. ජයසිරි මහා බෝසමි¾දුන්ගේ තේවාව සිදු කිරීමේ පුණ්‍යවන්ත කටයුත්තද සිදු කළේ සිරිනිවාස හිමියන් විසිනි.
මාලිගාකන්ද විදේයාදය මහපිරිවෙන, සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේට සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින්ම සමත් වීමට හැකිවිය. හේරත් හල්මිල්ලෑවේ රේවත, පල්ලේගම ධම්මරක්ඛිත, පල්ලේගම ඤාණරතන යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1975දී වෙසක් මස 06 වැනි දින ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. සිරිනිවාස හිමියන් උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ සිටය. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ නිසාම 1984දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමට උන්වහන්සේට හැකිවිය. 2005 මැයි මස 08 වැනි දින තායිලන්තයේ චූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය මඟින් සිරිනිවාස නාහිමියන්ට ආචාර්ය උපාධිය පිරිනැමිණි.
අටමස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරී ලෙස උන්වහන්සේ පත් කෙරිණි. 1989දී මිරිසවැටියේ වස්වැසීමට උන්වහන්සේ තීරණය කළහ. 1990දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තායිලන්තයේ තෙන්නායිහි විහාරයකට වැඩම කරවීමට කටයුතු සංවිධානය කෙරුණේය. ඒ ගමන සඳහාද අටමස්ථානාධිපති නාහිමියන් තෝරා ගත්තේ සිරිනිවාස හිමියන්ය.
1994 වසරේදී අභයගිරිය චෛත්‍යාරාමයේ වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස ලොකු හාමුදුරුවෝ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව සිරිනිවාස හිමියෝ අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කළ අතර, 1995දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන ලොකු හාමුදුරුවෝ අපවත්වීමෙන් අනතුරුව අටමස්ථානාධිපති නාහිමියන් විසින් සිරිනිවාස හිමියන් රුවන්වැලි මහා චෛත්‍යය රාමාධිකාරී ධුරයට පත් කරන ලදී. 1995දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කෙරිණි. පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියන් බවට පත් වන්නේ ඉන් පසුවය.
පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට සුදුසුකම් ලැබුවේ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියන්ය. අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු අටමස්ථානාධිපති ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත්වුණු ළාබාලම භික්ෂුන් වහන්සේ බවට සිරිනිවාස නාහිමියන් පත්විය. ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි 1997 වසරේදී අටමස්ථානාධිපති ධුරයට පත් වූ අතර, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙසද උන්වහන්සේ කටයුතු කළහ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සඳහා දෙවැනි රන්වැට තැනීම හා ඊට පහළින් පිහිටි මළුව පුළුල් කර, ආරක්ෂක ගේට්ටු සවි කිරීම, බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවත නවීකරණය කරවීම, පරිපාලන කටයුතු විධිමත් කිරීම, 2004 වසරේ නොවැම්බර් මාසයේ 12 වැනි දින මහා වර්ෂාවට උඩමළුවේ දේවාල මළුව හෙවත් තුන්වැනි මළුවේ මහා ප්‍රාකාර බැම්ම බටහිර පැත්තෙන් ගලවාගෙන ගොස් තිබුණේ මළුවේ ප්‍රාසාදයක්ද සමඟිනි. මහා ප්‍රාකාර බැම්මද වර්තමානයට ගැළපෙන අයුරින් ඉදිකරවීම හා එය ප්‍රතිසංස්කරණය කිරීම, එමෙන්ම, රාජ්‍ය අනුග්‍රහයෙන් දස දහසකට අධික පිරිසකට රැස්විය හැකි මහා ධර්මශාලා ඉදිකිරීම උන්වහන්සේ විසින් සිදු කළ ප්‍රබලතම ශාසනික සේවාවන් ලෙස හැඳින්විය හැකියි. පිරිවෙන් අධ්‍යාපනය ලබන මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මහ විහාර භික්ෂු පරිගණක මධ්‍යස්ථානය නමින් ආයතනයක් පිහිටුවීමටද උන්වහන්සේ කටයුතු කළහ.
බෝමළුව විහාරස්ථානයේ අභිනව සංඝාවාසය දැකුම්කලු අයුරින් තැනවීම, බෝධීන් වහන්සේ සඳහා අලුතින් රන් ආධාරක කණු සිටුවීම, බෝධීන් වහන්සේ වැඩසිටින පුණ්‍ය භූමියේ ඉදිරිපස සහ ඒ අවට භූමිභාගයේ පැවැති ඉදිකිරීම් ඉවත් කර එම භූමිභාගය ඉතා අලංකාරවත් අයුරින් සකස් කිරීම ආදී කටයුතු උන්වහන්සේ අතින් සිදු වූ සුවිශේෂී කටයුතු රැසක් අතරින් කිහිපයක් ලෙස දැක්විය හැකිය. වසර විසිතුනකට අධික කාලයක් මෙරට ශාසනික දියුණුව උදෙසා ශ්‍රී මහා බෝධි ස්ථානය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ සිදු කළ සේවාව ඉතා අගය කොට සැලකිය යුතුය. ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අනුපමේය සේවාවක් කළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා’යි ප්‍රාර්ථනා කරමු.
ශෂී ගමගේ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය






