
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (18දා) සවස කැලණි විශ්වවිද්‍යාලයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා පාගමනින් යෑමට සූදානම් කර තිබූ උද්ඝෝෂණය විශ්වවිද්‍යාල පිවිසුම අසලදීම නවතා දැමූ පොලිසිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් අටදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මංතීරු දෙකක් වසා දමා තිබූ අතර විශ්වවිද්‍යාලය පසුපස පිහිටි අතුරු මාර්ගයද එම අවස්ථාවේදී වසා දමා පොලිස් ආරක්ෂාව යොදා තිබිණි. සිද්ධිය පිළිබඳව මාධ්‍යට ප්‍රකාශයක් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් පැවැසුවේ කැලණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති කැලුම් මුදන්නායක ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අටදෙනකු පොලිසිය අමානුෂික අන්දමින් බැටන් පහර එල්ල කර අත්අඩංගුවට ගත් අතර ඔවුන් මොන පොලිස් ස්ථානයට රැගෙන ගියේදැයි කිසිවෙක් නොදන්නා බවයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස දෙකක් මුළුල්ලේ රඳවා තබා ගැනීමට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
කැලණි විශ්වවිද්‍යාලයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගොස් එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර මේ හේතුවෙන් කැලණි විශ්වවිද්‍යාලය අසලින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී ගමනාගමනයට බාධා පැමිණි අතර පොලිසිය මැදිහත්වී සිසුන් විසුරුවා හැරීම නිසා සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ මාර්ගයේ රැඳී සිටීමට සිදුවිය.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් පසුගිය අගෝස්තු මස 18 වැනිදා සිට මේ දක්වා මාස දෙකක කාලයක් කිසිදු චෝදනාවකින් තොරව මෙලෙස රඳවා තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, තරුණ නීතිඥ සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලටද දැනුම් දී ඇති අතර මෙම පාගමනට එම නියෝජිතයන් නිරීක්ෂක කණ්ඩායමක් ලෙස එකතුවන බවද සංවිධායකයන් පැවැසීය.
පසුගිය හතර වැනිදා කිරිබත්ගොඩ බස් නැවැතුම්පොළ අසලදී පැවැත්වීමට ගිය උද්ඝෝෂණ රැලියට කැලණි විශ්වවිද්‍යාලය ආසන්නයේදීම පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිසා මෙලෙස නිරීක්ෂකයන් දැනුවත් කරමින් ඔවුන්ට ආරාධනා කර ඇත.
කැලණිය _ කුසුම් එස්. හැන්නදි






