Home Local ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට – මව්බිම News Room

ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට – මව්බිම News Room

0
0


නැමීබියාව හමුවේ ලකුණු 55කින් පරාජය වී ප්‍රධාන තරග වටයට යෑම තරමක් දුරස්ව සිටි ශ්‍රී ලංකා පිල ඊයේ (18දා) එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 79කින් පරාජය කරමින් ප්‍රධාන වටයට යෑමේ බලාපොරොත්තු යම් පමණකට ඉෂ්ඨ කරගත්තේය.

පළමු තරගයේදී පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන සිටි ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟින් පළමු තරගයේදී  ලැබූ නින්දාසහගත පරාජය අමතක කරමින් පැමිණි 5000කට අධික ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට මද අස්වැසිල්ලක්ද එක්කරමින් එම සටහනේ තෙවැනි තැනට පත්වීමට අවකාශය සැලසුනේය.

ගීලෝන්හි කාදිනියා පාක් පිටියේදී පැවැති මෙම තරගයේදී පැතුම් නිස්සංක හා ධනංජය ද සිල්වා ගොඩනැගූ ලකුණු 50ක සබඳතාවය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ප්‍රධාන දායකත්වයක් සැපයූ හෙයින් ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකාවට මද පෑදූවේය. 

පන්දුවාර 20 තුළදී ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 153ට පිළිතුරු සැපයූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 73ක් පමණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරාධනයෙන් පළමුවෙන්ම ඉනිම ගොඩනැගීමට එක්වූ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පන්දුවාර 4.4කදී ලකුණු 42ක් හා නිස්සංක-ධනංජය එක්කළ ලකුණු 50ක සබඳතාවයට නිසි අගයක් එක් කිරීමට අපහසු වූ මැද පෙළ පිතිකරුවන් සිවුදෙනකුම ක්‍රීඩාගාරය සොයා  ගියේ පසුපෙළ පිතිකරුවන්ට අමතර බරක් පටවමිනි. කඩුලු 2කට ලකුණු 117ක් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට කළු පැල්ලමක් එක්කළ කාර්තික් මියප්පන් කඩුලු ත්‍රිත්වයක් එක්කරන විට භානුක රාජපක්‍ෂ, චරිත් අසලංක හා දසුන් ශානක මියප්පන්ගේ ගොදුරු බවට පත්විය. කඩුලු 5ක් ලකුණු 117ක් තුළ බිඳ වැටී අසරණව සිටි ශ්‍රී ලංකා පිල තවත් අසරණ කරමින් වනිඳු හසරංගද ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිල අන්ත අසරණ කරමිනි.

එහෙත් පැතුම් නිස්සංකට එකතු වූ චාමික කරුණාරත්න හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සබඳතාවක් එක්කරමින් ලකුණු 150ක ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගියහ. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 153ක ඉලක්කය පහසුවෙන් හඹායෑමට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිතිකරුවන්ට උතුර දකුණ අමතක කරමින් පළමු කඩුලු තුනම චමීරගේ ගොදුරු බවට පත්වන විට ජයග්‍රහණයේ වටපිටාව ලෙහෙසියෙන්ම ශ්‍රී ලංකාව දෙසට විවර වී ගියේය.

එය තවදුරටත් සනාථ කරමින් ලකුණු 14ක් ලබා සිටි චිරාජ් සූරිගේ පිට ඉන්න ගලවා දැමූ ප්‍රමෝද් මධුශාන් අරාබි ඉනිම අසරණ කළේය. ඉන් අනතුරුව බසිල් හමීඩ් ලකුණු 2කට ශානක හමුවේ දැවී යෑම හේතුවෙන් එක්සත් අරාබි ඉනිම කඩුලු 5කට ලකුණු 30ක් ලෙස පරිවර්තනය විය.  බිඳ වැටී සිටි ඉනිම ගොඩගැනීම සඳහා විරිත්යා අරවින්ද් හා කෂීෆ් ඩවුඩ් උත්සාහ දැරූවද එයද ව්‍යර්ථ කරමින් විරිත්යා අරවින්ද් ලකුණු 9කටත්, කෂීෆ් ඩවුඩ් ලකුණු ලබාගැනීමට පෙරත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට හසරංග සමත් වූයේ ලෝක කුසලාන තරගාවලියේ කඩුලු දඩයමට තමන් සූදානම් බව ඉඟි කරමිනි. කඩුලු 9ක් ලකුණු 56ක් තුළ බිඳ වැටී තිබියදී අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 17ක සබඳතාවක් එක්කරමින් ජුනයිඩ් සිද්දික් හා ෂහූර් ඛාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මද අස්වැසිල්ලක් ලබාදුන්නේය.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිම විනාශය කරා රැගෙන ගිය දුෂ්මන්ත චමීර හා වනිඳු හසරංග කඩුලු 3 බැගින් බිඳ දමද්දී මහීෂ් තීක්‍ෂණ කඩුලු දෙකක් බිඳ දැමීය.

එහිදී ශ්‍රී  ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ පැතුම් නිස්සංක පන්දු 60කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 74ක් රැස්කළ අතර අවසානයේදී තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තේය.

මේ අතර ඊයේ (18දා) නැමීබියාව කඩුලු 5කින් පරාජය කළ නෙර්ලන්තය ප්‍රධාන තරග වටයට සුදුසුකම් ලැබීමේ ආසන්නයටම පැමිණීමට සමත්ව සිටී. එහිදී නැමීබියාව පන්දුවාර 20කදී කඩුලු 6කට ලැබූ ලකුණු 121ක ඉලක්කයක් පසුපස ගිය නෙදර්ලන්ත පිල කඩුලු 5ක් පමණක් අහිමි කරගනිමින් නියමිත ඉලක්කය පසුකර ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here