පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින සන්නිවේදන දුරස්ථභාවය අවසන් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය සහ පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරමින් නිලධාරියෙක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
මෙම පත්වීම සිදු කිරීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා අඛණ්ඩව දින තුනක් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි අතර, එහිදී අලුතින් පත්කළ සම්බන්ධීකරණ නිලධාරියාද ඉදිරිපිට තබා ගනිමින් මාලිමා මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.
සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවලදී සභාව අමතා අදහස් දැක්වීම සිදු කළද, මෙම තෙදින තුළ ඔහු සභා ගර්භයේ කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකී සිටියේය.
විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට සෘජු වගකීමක් පවතින පසුබිමක, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කිසිදු සඳහනක් නොකිරීම දේශපාලන ක්ෂේත්රයේ දැඩි කුතුහලයක් මතු කිරීමට හේතු විය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටි කාලය තුළ ජනාධිපතිවරයා කළේ දිස්ත්‍රික් මට්ටමින් මාලිමා මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් කැඳවා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමයි.
මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීම්වලින් අනතුරුව, ඔවුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
සෙසු ගැටලු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් සහ උසස් නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී උපදෙස් දී තිබේ.
මීට අමතරව, ඉදිරියේදී මන්ත්‍රීවරුන්ට පැනනඟින ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් අලුතින් පත් කළ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා හරහා තමන් සමග සෘජුව සම්බන්ධ වී සාකච්ඡා කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.







