3
උතුරු මුහුදේ නෞකා දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී තිබේ.
ඉන් එක් නෞකාවක් ගිලී ගොස් ඇති අතර, අනෙක් නෞකාව ගිනිගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගැටුණු එක් නෞකාවක් ජෙට් ඉන්ධන රැගෙන යමින් සිටි අතර අනෙක අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන යන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.
කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අතුරුදන් වී ඇති අතර, ඔහු සෙවීමේ කටයුතු නතර කර ඇති බව, බ්‍රිතාන්‍ය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේය.
එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි එක්සත් ජනපදයේ ලියාපදිංචි ස්ටෙනා ඉමැකුලේට් නෞකාව සහ පෘතුගීසි ධජය සහිත සොලොන්ග් නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇත.
පුද්ගලයින් 36 දෙනෙකු බේරාගෙන ඇති අතර, එක් අයෙකු රෝහල් ගතකර තිබේ.
මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන නෞකාව හදිසියේ පැමිණ තෙල් ප්‍රවාහන නෞකාවේ ගැටී ඇති බවයි.
“හම්බර්” මෝය අසලින් මුහුදට ජෙට් ඉන්ධන කාන්දු වී ඇති බව, මේ වන විට තහවුරු වී ඇති අතර පාරිසරික හානියක් තක්සේරු කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කොටසක් කැඩී ගිය විට “යාත්‍රාව තුළ බහු පිපිරීම්” සිදුවී ඇති බව වාර්තා වේ.
පරීක්ෂකවරුන් සහ සහායක කාර්ය මණ්ඩලයක් සාක්ෂි රැස් කිරීම ආරම්භ කර ඇති අතර, එහි ඊළඟ පියවර තීරණය කිරීම සඳහා මූලික තක්සේරුවක් සිදු කරමින් සිටින බව බලධාරීන් පවසයි.









