Home Politics News Room : රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයන් රැසකගේ සහාය...

News Room : රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයන් රැසකගේ සහාය ජනපතිට

1
0

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයන් රැසක් පවසති.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි අලිකාන් ෂෙරිෆ් (Alikhan Sherif , මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුබිහාන්(AGH Subihan) යන මහත්වරුන් ඇතුළු මුසලි ප්‍රාදේශීය සභාවෙ හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.ආර්.එම්. රස්මින්, හනීෆ් මක්බූල්, එම්.එච්. එම්. කාමිල් අෂ්-ෂේක් අබ්දුර් රහ්මාන් සහ මුසලි උලමා සභා හිටපු සභාපති එම්. තව්ෆීක් යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් අද (09) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී මේ බව ප්‍රකාශ කළහ.

උතුරේ මුසලි ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර සෙසු සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බව මෙහිදී පෙන්වා දුන් එම නියෝජිතයන් පසුගිය ආර්ථික අර්බුදයෙන් රට මුදාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස පක්ෂය මුල සිටම සිටි බවත් පක්ෂ නායකත්වය ද එම ස්ථාවරයේ සිටි බවත් පෙන්වා දුන්හ.

එහෙත් පක්‍ෂයේ ඇතැමුන්ගේ බලපෑම් මත රිෂාඩ් බදුර්දීන් මහතා වෙනත් අපේක්‍ෂකයකුට සහාය දීමට තීරණය කළ නමුත් පක්‍ෂයේ බහුතරයකගේ සහයෝගය ජනපතිට හිමිවන බව ද එම නියෝජිතයෝ සඳහන් කළහ.
අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සමඟ ගත් විට මේ රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමාට සහාය දීම ඉතා වැදගත් බවත් පෙන්වා දුන් මෙම පිරිස තම නායක රිෂාඩ් බදුර්දීන් මහතා ද තීරණය වෙනස් කර ජනපති සමඟ එක් විය යුතු බව ද කියා සිටියේය.

පුත්තලම මන්නාරම මාර්ගය ඉදි කිරීම ඇතුළු උතුරේ මුස්ලිම් ජනතාවට සම්බන්ධ ගැටලු රැසක් තමන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, ඊට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් ලබාදුන් බවත් එම නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර පොදුජන පෙරමුණ නියෝජනය කළ බේරුවල නගර සභාවේ ‍හිටපු නගරාධිපති මසාහිම් මොහොමඩ්, වත්තල මාබෝල නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.එච්.එම්. නවුෂාද් යන මහත්වරු සහ සමගි ජන බලවේගය නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරින් රැසක් ද අද ජනාධිපතිවරයා හමු වී එළැඹෙන ජනාධිපතිවරණයේ දී එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවට සහතික වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ කලුතර හිටපු නගරාධිපති ආමිර් නාසිර් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here