19
මගීන් 234 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනකු රැගෙන මුම්බායි නුවර සිට ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ ඉන්දියාවට අයත් විස්තාරා සමාගමේ ගුවන් යානයක බෝම්බයක් සවි කර ඇති බවට ලද තොරතුරු මත එම ගුවන් යානය නැඟෙනහිර තුර්කියට හදිසි ගොඩබැසීමක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට එහි වැසිකිළියක අලවා තිබූ සටහනක් හමුවීමෙන් පසු ඉන්දියාවේ සහ තුර්කියේ ගුවන් බලධාරීන් දැනුම්වත් කළ ගුවන් නියමුවා නැඟෙනහිර තුර්කියේ අර්සුරුම් නුවර ගුවන්තොටුපොළට යානය ගොඩ බස්වා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
යානය ගොඩ බැස්වීමෙන් පසු ගුවන්තොටුපොළ බලධාරීන් එහි මගීන් සහ කාර්ය මණ්ඩලය වහා ආරක්ෂිත ස්ථාන වෙත පිටත් කර ඇතැයි ද, අනතුරුව තුර්කියේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ගෙන්වා යානය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද පුපුරන ද්‍රව්‍ය කිසිවක් ගුවන් යානයෙන් හමු නොවූ බවට බෝම්බ නිෂ්ක්‍රීය අංශ දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තුර්කි ගුවන්තොටුපොළේ සිර වූ මගීන් නැවත ගමනාන්තය දක්වා රැගෙන යෑමට විස්තාරා ගුවන් සමාගම වෙනත් ගුවන් යානයක් යොදා ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.







