21
ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය සාමකාමීව විසඳීමේ අවශ්‍යතාව ඉස්මතු කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකතන ඇමතුමක් මගින් කරුණු පෙන්වා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ ගැටුම සංවාදය හා රාජ්‍යතාන්ත්‍රිකභාවය තුළින් ඉක්මන් හා සාමකාමීව විසඳීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ඉන්දීය අගමැතිවරයා එම දුරකතන සංවාදය සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා පලස්තීනයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී පුද්ගලයන් 1200ක් පමණ ඝාතනය කරමින් ද, ඊශ්‍රායලයට අනුව 250 දෙනකු ප්‍රාණ ඇපයට තබා සිටිමින් ද ආරම්භ කළ ගාසා යුද්ධයේදී හමාස් සංවිධානයේ සාමාජිකයන් 17,000ක් ඝාතනය කිරීමට හමුදාව සමත්වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ. ප්‍රාණ ඇපයට ගත් සියලුදෙනා වහාම නිදහස් කරන ලෙසත්, ගාසා තීරයට මානුෂීය ආධාර අඛණ්ඩව සැපයීම සිදු කරන ලෙසත් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි බව වාර්තා වේ.
දෙරටේ නායකයන් අතර පැවැති එම දුරකතන සංවාදයේදී ද්විපාර්ශ්වික සහයෝගිතාවයේ විවිධ අංශ හා ඉන්දීය- ඊශ්‍රායල උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්රමෝපායන් සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.







