Home World News Room : යුක්රේන හිතවාදී ආයතනයකට මුදල් ආධාර දුන් රුසියානු නර්තන ශිල්පිනියට...

News Room : යුක්රේන හිතවාදී ආයතනයකට මුදල් ආධාර දුන් රුසියානු නර්තන ශිල්පිනියට වසර 12ක සිරදඬුවම්

0
0

යුක්රේනයට ආධාර සපයන අමෙරිකානු සුබසාධන ආයතනයකට මුදල් පරිත්‍යාග කිරීමේ චෝදනාවට රුසියානු බැලේ නර්තන ශිල්පිනියක වන ක්සෙනියා කැරෙලිනාට රුසියානු අධිකරණයකින් වසර 12ක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකා – රුසියා ද්විත්ව පුරවැසිභාවය හිමි කැරෙලිනා අමෙරිකානු සුබසාධන ආයතනයට ඩොලර් 51ක මුදල් ආධාරයක් ලබා දී ඇති අතර, එය යුක්රේන හමුදාවට ඍජුවම ආධාර සැපයීමේ ක්‍රියාවලියකට සම්බන්ධ බවත්, ඒ අනුව ඇය දේශද්‍රෝහී චෝදනාවට වැරදිකාරිනිය වන බවත් රුසියානු අධිකරණයේ නිගමනය වී ඇතැයි වාර්තා වේ.

රුසියාවේ හිටපු බැලේ නර්තන ශිල්පිනියක වන කැරෙලිනා අමෙරිකානු ජාතිකයකු සමඟ විවාහ වීමෙන් පසු ලොස් ඇන්ජලිස් නුවර පදිංචියට ගොස් ඇතැයි ද, පසුව අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඇය රුසියාවේදී අත්අඩංගුවට පත්වූයේ සිය පවුලේ සාමාජිකයන් දැකබලා ගැනීම සඳහා පැමිණි අවස්ථාවකදීය.

තම සේවාදායිකාව අමෙරිකාවේ සුබසාධන ආයතනයකට මුදල් ආධාරයක් සිදු කළද, එම මුදල් ආධාර රුසියානු විරෝධී ක්‍රියා සඳහා යොදවන බව නොදැන සිටි බව ඇගේ නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කර ඇති අතර, එම තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here