Home Sport News Room : අමෙරිකාව සමඟ චීනය රන් පදක්කම්වලින් සමවෙයි

News Room : අමෙරිකාව සමඟ චීනය රන් පදක්කම්වලින් සමවෙයි

0
0

ඔලිම්පික් ආධිපත්‍ය පතුරවමින් සිටින ප්‍රබල අමෙරිකාව සමඟ ආසියාවේ බලවත් රටක් වන චීනය රන් පදක්කම් අනුව සම තත්ත්වයකට පත් වෙයි. දින කිහිපයක් තිස්සේ අමෙරිකාව ඉදිරියෙන් සිටියද අවසන් සටහනේදී දෙරට රන් පදක්කම් 40 බැගින් සටහන් කළේය.

එහෙත් සමස්ත පදක්කම් 126ක් දිනා අමෙරිකාව ඉදිරියට පැමිණි අතර, චීනය සමස්ත පදක්කම් 91ක් දිනා ගත්තේය. සත්කාරක ප්‍රංශය පදක්කම් සටහනේ 5 වැනි ස්ථානයට පත් වෙමින් පදක්කම් 64ක් දිනා ගත්තේය. අවසන් වරට පැවැති 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී අමෙරිකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 39ක් දිනා ගනිද්දී චීනය එක් රන් පදක්කමකින් පසුපසට ගියේය. එබැවින් මෙවර ඔලිම්පික් උලෙළේදී ජපාන තරගාවලියට වඩා චීනය රන් පදක්කම් 1ක් වැඩිකරගෙන ලෝක බලවතා හා සම තත්ත්වයක ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 107කගෙන් සමන්විත වූ ඉන්දියාව 71 වැනි ස්ථානයට පත්වූ අතර, ඔවුන් රිදී පදක්කමකට හා ලෝකඩ පදක්කම් 5කට සීමා විය. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී දකුණු ආසියානු කලාපයේ රටක් දිනාගත් එකම රන් පදක්කම හිමිවූ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්ගේ දක්ෂතා හේතුවෙන් පදක්කම් සටහනේ 62 වැනි ස්ථානයට පාකිස්තානය පැමිණීයේය. එබැවින් පදක්කම් සටහනේ ඉන්දියාවට වඩා පාකිස්තානය ඉදිරියෙන් සිටියේය.

හෙල්ල විසි කිරීමේ දැවැන්තයකු වූ අර්ෂාඩ් නදීම් වසර 40කට පසු පාකිස්තානයේ පළමු ඔලිම්පික් රන් පදක්කම ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදී දිනාගත් අතර, මෙතෙක් හෙල්ල විසි කිරීමේ ඔලිම්පික් රන් පදක්කම දිනා සිටි ඉන්දියාවේ නිරාජ් චොප්රා දෙවැනි තැනට ඇද දැමීමද විශේෂ සිදුවීමකි. රටවල් 206ක් සහභාගී වූ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කිසිඳු පදක්කමක් දිනා නොගත් රටවල් ගණන 122කි. ශ්‍රී ලංකාව ඇතුලු එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිත්වයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ප්‍රින්ස් ගුණසේකර

ප්‍රංශයේ පැරිස් නුවර සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here