134
පින්න නිසා පන්දු යවන්න අපට අමාරු වුණා
– ජනිත් ලියනගේ
ශ්‍රී ලංකාවට එරෙහි බොහෝ එක්දින තරගවලදී අභියෝගයක් ලෙස වගකීම භාර ගන්නා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් අද පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවන දෙවැනි එක්දින තරගයේදී තවත් පෙරැළියක් ඇති කරන්නේද යන්න ක්‍රිකට් විචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත. ඔහු එක්දින ජාත්‍යන්තර තරගවලදී මෙතෙක් ශතක 9ක් ලබා ඇති අතර, අර්ධ ශතක 49ක් සම්පූර්ණ කර සිටී. එබැවින් අද තරගයේදී මුෂ්ෆිකර් රහීම්ගේ පිත්තෙන් වාර්තා වන්නේ 10 වැනි ශතකයද? 50 වැනි අර්ධ ශතකයද? යන්න විමසිල්ලට ලක්ව තිබේ.
මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 1145ක් ලබා ඇත. එයට ශතක 2ක් හා අර්ධ ශතක 6ක් ඇතුළත්ව ඇත. ඔහු 2018 වසරේ ඩුබායිහී පැවති ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 144ක් ලබා පෞද්ගලික වැඩිම ලකුණු වාර්තාව පිහිටවූ අතර, මෙයට වසර 3කට පෙර මීර්පූර්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ලකුණු 125ක් ලබා ගත්තේය.
වසර 2018දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නොදැවී ලකුණු 98ක් ලබා සිටියදී ශතකය වාර්තා කිරීමට නොහැකිව ක්‍රීඩාගාරයට ගිය මුෂ්ෆිකර් පෙරේදා චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අවසන් වූ පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් විය.
එහෙත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකාවට එරෙහිව තම නායකයා ලබාගත් ශතකය පැසසුමට ලක් කළේය. නජ්මුල් හොසේන් ෂැන්ටෝ පන්දු 129කදී හයේ 2ක් හා හතරේ 13ක් සමඟ නොදැවී ලකුණු 122ක් ලබා ගැනීමට සමත් විය.
“පසුගිය මාස කිහිපය තුළ ෂැන්ටෝගේ නායකත්වය යටතේ බංග්ලාදේශ පිල වෙනස් වුණා. ඔහු නැවතත් ජාත්‍යන්තර තරගවල ලකුණු අතර සිටිනවා.
නායකයා වූ පසු සැන්ටෝ වැඩි වගකීමකින් ක්‍රීඩා කරනවා. ඔහුගේ පිතිකරණය පෙරට වඩා ඉතා හොඳයි” මුෂ්ෆිකර් පැවසීය.
බංග්ලාදේශය ලකුණු 256ක ඉලක්කයක් කරා යෑමේදී එක් අවස්ථාවක කඩුලු 4කට ලකුණු 92ක් තිබුණද, මුෂ්ෆිකර් හා ෂැන්ටෝ එක්ව පන්දු 175කදී ලකුණු 165ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟූහ.
චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රාත්‍රී කාලයේ විශාල ලෙස පින්න පතිතවීමෙන් නිසි ලෙස පන්දු යැවීම අභියෝගයක් වූ බව තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ජනිත් ලියනගේ පැවසීය.
“මේ තරම් පිනි වැටෙනවා කියලා අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ.
බංග්ලාදේශය කඩුලු 4කට ලකුණු 92කට සීමා කිරීමෙන් පසු ජයග්‍රහණය කිරීමට අපිට හොඳ අවස්ථාවක් තිබූණා. පින්න එය වෙනස් කළා. පිනි වැටෙනකොට පන්දු යවන්නන්ට ඇත්තටම පන්දුව අල්ලගන්න අමාරු වුණා. ඒ අතරේ ඔවුන් හොඳින් පිතිකරණය කළා.
බංග්ලාදේශය පුරා පසුගිය දින කිහිපය තුළ කාලගුණයේ වෙනසක් සිදුවී ඇති අතර, කුණාටු සමය ආසන්න විය හැකි බව කාලගුණ අනාවැකි පෙන්වා දේ. මේ හේතුවෙන් අධික පින්න රාත්‍රී කාලයේදී බලාපොරොත්තු විය හැකි බව එම කාලගුණ වාර්තා කියා සිටී.
ප්‍රින්ස් ගුණසේකර








