Home Local News Room : ඊළගට බටෙන් කන්නේ ගෝටාභයයි… ගිණුම්වල ඩොලර් බිලියන ගාණක් තියෙනවා...

News Room : ඊළගට බටෙන් කන්නේ ගෝටාභයයි… ගිණුම්වල ඩොලර් බිලියන ගාණක් තියෙනවා – චමීර පෙරේරා ~

0
0
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ, පසුගිය පාලන සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ හා වංචාවලට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට ද දඬුවම් ලැබෙන Judgment Day උදා වී ඇති බවත්, එහි ඊළග පුද්ගලයා හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වනු ඇති බවත් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙය බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ දෙයක් බවයි. රාජපක්ෂ පවුලේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ප්‍රධාන ‘කොන්ත්‍රාත්කරුවෙකු’ ලෙස කරන්නාගොඩ මහතා කටයුතු කළ බවට ද ඔහු චෝදනා කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳව කරුණු දක්වමින් චමීර පෙරේරා මහතා මෙසේ පැවසීය.

“වනචර රාජපක්ෂ පවුලේ දෙවැනි පුත්‍රයාව නාවික හමුදාවට බඳවා ගන්න කරන්නාගොඩ මහතා නීති රීති වෙනස් කළා. වෙනත් දක්ෂ තරුණයෙකුට හිමිවිය යුතු අවස්ථාව අහිමි කරලා, මහජන මුදල් කෝටි ගණනින් වැය කරලා ඔහුව එංගලන්තයේ පුහුණුවට යැව්වා. මේවා මේ රටේ ජනතාවට කළ බරපතළ අපරාධ.”

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට සහ ඔවුන්ගේ හිතවතුන්ට දැඩි ලෙස චෝදනා කළ ඔහු, ජනතාව ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම්වල මියයද්දී පාලකයින් සිය බැංකු ගිණුම් ඩොලර් බිලියන ගණනින් පුරවාගත් බව පෙන්වා දුන්නේය.

“රටට තෙල් ගේන්න ඩොලර් මිලියන 200ක් නැතිව මිනිස්සු පාරේ මැරෙද්දී, මුන්ගේ ගිණුම්වල බිලියන ගණන් සල්ලි තිබුණා. මේ වනචර පාලනය විසින් ගොඩනැගූ Deep State මුලිනුපුටා දැමීමේ වගකීම වත්මන් රජයට තියෙනවා” යැයි ද ඔහු අවධාරණය කළේය.

අධිකරණ නියෝග සහ විමර්ශන හමුවේ ඇතැම් නීතිඥවරුන් සිදුකරන ප්‍රකාශ විවේචනය කළ චමීර පෙරේරා මහතා, මින් ඉදිරියට කිසිදු දූෂිතයෙකුට නීතියෙන් බේරී සිටීමට ඉඩ නොලැබෙන බව සඳහන් කළේය.

“දැන් බටෙන් කකා හිටපු අයට කටින් කන්න සිද්ධ වෙලා තියෙනවා. කරන්නාගොඩට වුණු දේ ඊළඟට ගෝටාභයටත් සිද්ධ වෙනවා. මේ මිනීමරු, මංකොල්ලකාරී පාලනයට සම්බන්ධ හැමෝම හිරේ යන දවස වැඩි ඈතක නෙවෙයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම දූෂිත ජාලය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ජනතාව පෙළගැසී සිටින බවත්, වත්මන් රජය කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා නොකර නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here