Home Local News Room : බැකෝ එකක් ගන්න අමුතු වංගුවක්.. මීරිගම සභාපතිට දූෂණ චෝදනා…...

News Room : බැකෝ එකක් ගන්න අමුතු වංගුවක්.. මීරිගම සභාපතිට දූෂණ චෝදනා… අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! ~

0
0
මීරිගම ප්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 30කට අධික මහජන මුදලක් අවභාවිත කර ඇති බවට චෝදනා කරමින්, එම සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ මීරිගම ආසන සංවිධායිකා මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමාලි ශෂිකලා දයාරත්න මෙනවිය මේ පිළිබඳව කරුණු අනාවරණය කළාය.

මන්ත්‍රීවරුන් දසදෙනෙකුගේ අත්සනින් යුතුව භාරදුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජනතා පක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් එක්ව සිටි බව ඇය සඳහන් කළාය. 

පැමිණිල්ලේ දැක්වෙන පරිදි, මෙම මූල්‍ය වංචාව සිදුව ඇත්තේ සභාව සඳහා බැකෝ යන්ත්‍රයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළදීය. පසුගිය පෙබරවාරි මාසයේ පැවැති මහා සභා වාරයේදී, ප්‍රදේශයේ ඉඩම් වෙන්දේසිකරුවන්ගෙන් ලද රුපියල් 3,015,000ක මූල්‍ය පරිත්‍යාගයකින් මෙම යන්ත්‍රය මිලදී ගත් බව පවසමින් එය වත්කම් ලේඛනයට ඇතුළත් කිරීමට සභාපතිවරයා අනුමැතිය ඉල්ලා ඇත.

එහිදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ නිල බලය උපයෝගී කරගනිමින් අදාළ ආයතනවලින් මෙම මුදල් ලබාගත් බවයි.

ඉකුත් පෙබරවාරි 11 වැනිදා යන්ත්‍රය මිලදී ගැනීමට ඇති වූ හදිසි අවශ්‍යතාවක් බව පවසමින්, සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් රුපියල් 215,000ක මුදලක් ලබාගෙන ඇත. පසුව එම මුදල සභා අරමුදලින් නැවත ඔහුට ගෙවීමට මූල්‍ය කමිටුව හරහා යෝජනා සම්මත කරගෙන තිබේ. කෙසේ වෙතත්, මාසික වැටුපක් ලබන ඔහු සතුව මෙතරම් විශාල මුදලක් තිබීම මෙන්ම, එම මුදල සභාවට ලැබුණු බවට කිසිදු බැංකු වාර්තාවක් හෝ සාක්ෂියක් නොමැති වීම දැඩි සැකයට තුඩු දෙන්නකි.

ඉඩම් වෙන්දේසිකරුවන්ගෙන් ලැබුණු බව කියන රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදල ලබාගත් දිනයක් හෝ ඊට අදාළ නිල රිසිට්පත් කිසිවක් සභාව සතුව නොමැත. මෙම මුදල් බැංකුගත නොකර සභාපතිවරයා සන්තකයේ තබාගෙන සිටි කාලය පිළිබඳවද මන්ත්‍රීවරු ප්‍රශ්න කරති. 

රාජ්‍ය මිලදී ගැනීමේ රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම වංචාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්, අල්ලස් කොමිසමට අමතරව තවත් ආයතන කිහිපයකට මෙහි පිටපත් යොමු කිරීමට මන්ත්‍රීවරු පියවර ගෙන ඇත.

ඒ අනුව, බස්නාහිර පළාත් පාලන කොමසාරිස්, ගම්පහ සහකාර පළාත් පාලන කොමසාරිස් සහ ගම්පහ විගණකාධිපති වෙතද මෙම පැමිණිල්ලේ පිටපත් ඉදිරිපත් කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here