ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන අරමුදල් නිසි අරමුණ වෙනුවෙන් භාවිත වෙනවාද යන්න විමර්ශනය කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් ඒකාබද්ධ විපක්ෂය විසින් සවිස්තරාත්මකව ලබාදුන් එම වාර්තාව සම්බන්ධයෙන් මෙරට නියෝජතවරිය සමග සාධනීය සාකච්ඡාවක් පැවැති බවත් ඒ අනුව සිය මූලස්ථානය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැහැදිලි කළේය.
ජාතික ආදායම සහ ණය අරමුදල් ආරක්ෂා කිරීමට රජය අසමත් වී තිබෙන බවත් මහජනයාගෙන් ලබාගන්නා අධික බදු මුදල් අකාර්යක්ෂම පාලනය විසින් වැරැදි ලෙස කළමනාකරණය කිරීමෙන් ශ්‍රී ලාංකික ජනතාව දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (18) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරිය හමුවී ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික රාමුව ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය පිළිගන්නා අතරම ජනතාව මත අධික බදු පනවමින් ජනතාව සුරකින වර්තමාන පාලනය එම මුදල් නාස්තිකාර ලෙසත් වැරැදි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවත් කඩිනම් අවධානය යොමුකරන ලෙසද නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලා ඇත.
රටේ සාමාන්‍ය ජනතාවගෙන් ඉතා ඉහළ අගයකින් සෘජු බදු මෙන්ම වක්‍ර බදු මගින් රජය ලබාගන්නා ආදායම් රටේ ප්‍රසිද්ධියට පත් දැවැන්ත රාජ්‍ය මූල්‍ය කාන්දුවීම් අසාර්ථක ආර්ථික මෙහෙයුම් සහ විෂමාචාර ප්‍රසම්පාදන කටයුතු සඳහා යොදවන අභ්‍යන්තරයේ සිදුවීම් මාලාවක් පසුගිය වකවානුවේ නිරීක්ෂණය වූ බවද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විසින් නියෝජිතවරියට පෙන්වා දී තිබේ.
මෙමගින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලනය සහ මෙතෙක් තිබූ ආරක්ෂණ ක්‍රමවේද ජාලය බිඳ වැටී තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත.
ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේ (2025-2026) ටෙන්ඩරයට අදාළව සිදුවූ ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන ගණනාවක් අහිමි වීම ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුත්තේදී දැඩි මූල්‍ය විෂමාචාරයන් සිදුවීම, විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රසම්පාදනයේ විනිවිදභාවයක් නොමැති ලෙස සිදුකිරීම එහි සිදු වූ අක්‍රමිකතා පිළිබඳව පෝලන්තය ඇතුළු ජාත්‍යන්තර ටෙන්ඩරයකින් පැමිණිලි ඉදිරිපත් කිරීම, වාහන සඳහා තීරුබදු පැනවීමේ කටයුත්තේදී තොරතුරු පිටත යෑම හේතුවෙන් තෝරාගත් පාර්ශ්වයන්ට වාසි සැලසීම මගින් රජයට ආදායම් අහිමි වීම, කොළඹ වරායෙන් අධි අවදානම් සහිත බහලුම් 323 රේගුවෙන් පිටකිරීම, භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් මිලියන 2.5ක් ඔස්ට්‍රේලියානු රජයට යැවීම වෙනුවට හැකරුන් අතට පත්කිරීම, විද්‍යුත් තැපැල් වංචාවෙන් රජයට ඇමරිකානු ඩොලර් 6,25,000 පාඩුවක් වීම, මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 263ක් වැරැදි ලෙස ප්‍රේෂණය වීම.
මෙම සිදුවීම් මගින් රාජ්‍ය බලධාරීන් වැරැදි ලෙස මූල්‍ය කළමනාකරණයේ යෙදෙමින් දූෂණයට නිරාවරණය වෙමින් සිටින බැවින් ප්‍රසම්පාදන විනිවිදභාවය සහ දූෂණ විරෝධී පියවරයන් වෙත යොමුවන ලෙස රජයට තීරණාත්මක බලපෑමක් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් එහිදී විශේෂයෙන් ඉල්ලා තිබේ.
මූලාශ්‍රය – අරුණ







