පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවත්, ඔහු වසර 38ක් රට වෙනුවෙන් කළ සේවය අමතක කර බලධාරීන් ඔහුව “බිල්ලෙක්” (Scapegoat) බවට පත් කරගෙන ඇති බවත් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සිය ස්වාමිපුරුෂයාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ තම ස්වාමිපුරුෂයා නිර්දෝෂී බව මුළු රටම දන්නා නමුත් ඔහුට එරෙහිව සිදුවන මෙම අසාධාරණයට විරෝධය පළ කරමින් ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි.
සුරේෂ් සලේ මහතාට රඳවා තබාගෙන සිටින ස්ථානයේදී ඉතා අමානුෂික අන්දමින් සලකන බවත්, ඔහු පසුවන මානසික තත්ත්වය පිළිබඳව දැඩි බියක් පවතින බවත් ඇය මෙහිදී හෙළි කළාය.
“එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බැහැ මාව රෝහල්ගත කරන්න කියලා. ඒ නිසා යම් අනතුරක් වෙන්න කලින් කරුණා කරලා ඔහුව රෝහලකට ඇතුළත් කරන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ඇය කඳුළු සලමින් පැවසුවාය.
තම ස්වාමිපුරුෂයා වසර 38ක කාලයක් මුළුමනින්ම රට වෙනුවෙන් කැප වූ නිලධාරියෙකු බව සිහිපත් කළ මනෝරි සලේ මහත්මිය, රට වෙනුවෙන් තිබූ කැපවීම නිසා තම දරුවෙකුගේ පාසල් කටයුත්තකටවත් සහභාගී වීමට ඔහුට අවස්ථාවක් නොතිබූ බව පැවසුවාය. එවන් කැපවීමක් කළ මනුෂ්‍යයෙකුට මෙලෙස සැලකීම අතිශය අසාධාරණ බවත් ඇය අවධාරණය කළාය.
තම ස්වාමිපුරුෂයා සැමවිටම කෙළින් වැඩ කළ, රට වෙනුවෙන් දිවි දීමට පවා සූදානමින් සිටි අයෙකු බවත්, ඔහු වෙනුවෙන් නැගී සිටින ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
“සුරේෂ් රට වෙනුවෙන් උපරිම සේවයක් කළා වගේම දැන් ඕගොල්ලන්ගේ අවස්ථාව එයා වෙනුවෙන් නැගී සිටින්න. ඇත්ත දන්නා අය නිහඬව ඉන්න එපා” යැයිද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා







