ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.
විභාගයට පෙනී සිටි 570ක් අතරින් මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරු 71ක් සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පත්වීම් ප්‍රදානය කළ අතර, පවතින පුරප්පාඩු අනුව අදාළ ප්‍රදේශවලට මෙම නිලධාරීන් අනුයුක්ත කරනු ලැබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
“අපේ වැඩේ අපි කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න. රාජ්‍ය සේවය ගැන එක යුගයක් තියෙනවා, රාජ්‍ය සේවයේ වැඩ කරපු අය ගැන ලොකු ගෞරවයක් තිබුණා. ඕනම ගමක රාජ්‍ය සේවකයෙක් හිටියා නම් එයා ගෞරවණීය කෙනෙක් බවට පත්වෙලා හිටියා. දැන් ඒ කාලය වෙනස්. 1960 ගණන්වලින් පස්සේ රාජ්‍ය සේවය කියන එක බිඳ වැටුණා. රාජ්‍ය ආයතනත් බිඳ වැටුණා. කලාතුරකින් යම් රාජ්‍ය ආයතනවල වෙනසක් තියෙනවා. රාජ්‍ය බැංකු පද්ධතියේ යම් වෙනස්කම් තියෙනවා.
තවමත් සමහර රාජ්‍ය ආයතනවල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තවමත් කීයක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු කාර්යාලවලට ඇවිත් ගොඩක් රස්තියාදු වෙනවා. එන පුරවැසියන්ට ලබාදෙන පිළිගැනීම තවමත් අඩුයි. ජනතාවට වඩා උඩින් ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි ඔබගේ වගකීම.
අපි උත්සාහ කරනවා, දේශපාලන පැත්ත හදන්න. අපට හදාගන්න තියෙන පැති කිහිපයක් තියෙනවනේ. එකක් දේශපාලනය. දේශපාලකයාටත් එකමත් එක කාලයක පිළිගැනීමක් තිබුණා, රාජ්‍ය සේවකයාට වගේම.
රාජ්‍ය සේවය කඩා වැටුණා වගේම දේශපාලනයත් කඩන් වැටුණා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේකට වගකියන්න ඕනේ ප්‍රධාන පැත්ත දේශපාලනය. දේශපාලනය හරිහම්බ කරගන්න දෙයක් බවට පත්වුණාම පත්වීම් දෙන එක ඡන්ද ලබා ගන්න දෙයක් වුණාම සුදුස්සාට සුදුසු තැන නැති වුණාම පත්වීම් ලැබෙනකොටම රස්සාව ලැබෙන කෙනා දන්නවා මම ආවේ ඇමතිගේ ආනුභාවයෙන් කියලා. එතකොට එයා රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොටම වෙන තැනකට පත්වෙනවා. එහෙම වුණාම රාජ්‍ය සේවයට කරන ගෞරවයට වඩා ඇමතිට තියෙන ගෞරවය ඉස්සරහට එනවා. ඒ නිසා අපි මේක වෙනස් කරන්න ඕනේ. ඒකට ලොකු උත්සාහයක් ගන්නවා අපේ නිලධාරී මණ්ඩලය.
මේ පත්වීම් ලබාදෙනකොට අපි මේ සඳහා කිසිම මැදිහත්වීමක් කළේ නැහැ. දේශපාලන මැදිහත්වීමක් කරලා නැහැ. දේශපාලන මැදිහත්වීමක් කළොත් නිලධාරීන් හිතනවා මේගොල්ලෝ දේශපාලනය වෙනස් කරන්න ඇවිත් ඒගොල්ලොත් එහෙම තමයි කියලා. මේක පරණ විදිහට වුණා නම් ඔබ සියලුදෙනා මහනුවර දිස්ත්‍රික්කයේ වෙන්න ඕනේ. මොකද මහනුවර කියන්නේ මගේ ඡන්ද දිස්ත්‍රික්කය. ඉස්සර එහෙමනේ වෙලා තියෙන්නේ.
කෙනෙකුට රාජ්‍ය සේවයේ රැකියාවක් ලැබෙනවා කියන්නේ ඒක ජීවිතයට ලොකු ශක්තියක්. තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඒකෙන් ලොකු පෞරුෂයක් එකතු වෙනවා. ජීවිතයට යම්කිසි ස්ථාවරයක් ලැබෙනවා. අපේ අමාත්‍යාංශයේ යම් පිරිසක් බඳවා ගත්තා. ඒගොල්ලෝ රැකියාවට එනකොටම කියලා තිබුණා එයාලා ඉල්ලන පැත්තටම පත්වීම දෙන්න ඕනේ කියලා. ඒක පුදුම රාජ්‍ය සේවයට බැඳීමක්. රාජ්‍ය සේවයේ පළවෙනි පත්වීම දෙන තැනටම යන්න ඕනේ කියලා එකක් තියෙනවනේ. පත්වීම ගත්ත ගමන් ස්ථාන මාරුවීම් හදාගන්න ඇමති හම්බ වෙන්න නම් එන්න එපා.”
මෙම අවස්ථාවට සර්වේයර් ජනරාල් පී.කේ.එල්.එස්.පඩුවාවල මහත්මිය ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පත්වීම්ලාභීන් සහභාගී විය.