ඉරානය සමඟ එක්ව හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය නතු කර ගැනීමට ඕමානය උත්සාහ කළහොත්, එම රටට එරෙහිව හමුදා බලය භාවිතා කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, “ඕමානය අනෙක් සෑම දෙනා මෙන් හැසිරිය යුතු බවත්, නැතිනම් ඔවුන්ව පුපුරුවා හැරීමට සිදුවනු ඇති” බවත්ය.
ලෝකයේ සමස්ත තෙල් ප්‍රවාහනයෙන් සියයට 20කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන උපායමාර්ගික වැදගත්කමකින් යුතු හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර මුහුදු තීරයක් බවත්, එහි පාලනය කිසිවෙකුටත් නතු කර ගැනීමට ඉඩ නොදෙන බවත් ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මුලදී වරදවා වටහා ගැනීමක් ලෙස සැලකුණද, පසුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රකාශය ස්ථිර කරනු ලැබීය.
වසර 200කට අධික කාලයක් ඇමරිකාවේ සමීප මිත්‍ර රාජ්‍යයක්ව පවතින ඕමානයට එරෙහිව මෙවැනි තර්ජනයක් එල්ල වීම විශේෂත්වයකි. ආරක්ෂක සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළු ක්ෂේත්‍ර රැසකින් දෙරට අතර සහයෝගීතාව පවතින අතර, පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හටගත් යුධමය තත්ත්වයේදී ඕමානය ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙසද ක්‍රියා කළේය.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය දැඩි විවේචනයට ලක්ව ඇති අතර, මානව හිමිකම් සංවිධානයක් වන DAWN හි අධ්යක්ෂ රේඩ් ජරාරා (Raed Jarrar) පවසා සිටියේ මෙය ‘මාෆියා ලොක්කෙකුගේ’ ප්‍රකාශයක් වැනි බවයි.
ඕනෑම රාජ්‍යයකට එරෙහිව බලය භාවිතා කරන බවට තර්ජනය කිරීම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉරානය සහ ඕමානය එක්ව හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට සූදානම් වන බවට පළ වූ වාර්තා මෙම තර්ජනයට මුල් වී තිබේ. කෙසේ වෙතත්, එම වාර්තා පදනම් විරහිත බව ඇමරිකානු පරිපාලනය පවසයි.
මීට අමතරව, ඉදිරි සටන් විරාම ගිවිසුමක කොටසක් ලෙස සවුදි අරාබිය සහ කටාර් වැනි අරාබි රටවල් ඊශ්‍රායලය සමඟ නිල සබඳතා ඇති කර ගත යුතු බවටද ට්‍රම්ප් මෙහිදී බලපෑම් කළේය. එම රටවල් ඊශ්‍රායලය සමඟ සබඳතා ඇති කර නොගන්නේ නම් ඕනෑම ගිවිසුමකින් ඉවත් වන බවටද ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත