මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතියට ඇතුළු වී සොරකම් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් කෝටි 75 කට අධික) මුදලින් කොටසක් ඇමෙරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ බැංකු ගිණුමකට බැර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපටමින් ඒහි වාර්තා කරන්නේ අන්තර්ජාල ව්‍යාපාර ලියාපදිංචි කරන සමාගමක නමින් පවත්වාගෙන ගිය ‘TD Bank’ ශාඛාවක ඇති ගිණුමකට මෙම මුදල් බැර වී ඇති බවයි. සම්පූර්ණ මුදලම නොව ඉන් කොටසක් ගිණුම් කිහිපයකට බෙදා යවා ඇති බව ද හෙළි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ඉල්ලා ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ ද තොරතුරු හුවමාරු කර ගනිමින් සිටියි.
මෙම මුදල ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ද්විපාර්ශ්වික ණය වාරිකයක් වන අතර, මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් ගිණුම් හැක් කිරීම මගින් වංචනික ගිණුමකට එම මුදල් යොමු කර ඇති බව රජය පවසයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මේ පිළිබඳව පැවැත්වූ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, භාණ්ඩාගාරයේ ණය ගෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වී ඇති බවයි.
එහිදී කිසිදු භෞතික ලේඛනයක් හෝ අත්සනක් භාවිත නොවන අතර, විදේශ ණය වාරික ගෙවීමේ සම්පූර්ණ බලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට පවරා තිබේ.
පසුගිය අප්‍රේල් 30 වනදා පැවැත්වූ රහස්‍ය සාකච්ඡාවකදී හෙළි වූයේ, 2026 ජනවාරි මාසයේදී ඉන්දියාවට අදාළ ණය වාරික ගෙවීමේදී ද මෙවැනිම සැකකටයුතු සයිබර් ක්‍රියාකාරකමක් පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් වී තිබූ බවයි.
2025 සැප්තැම්බර් සිට 2026 ජනවාරි දක්වා වූ සංක්‍රාන්ති කාලසීමාව තුළ අසම්පූර්ණ තොරතුරු සහිත ගනුදෙනු දෙකක් මහ බැංකු පද්ධතිය මගින් ප්‍රතික්ෂේප කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.