වයඹදිග ඉරානයේ සැන්ජාන් පළාතේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
නොපිපිරුණු යුදෝපකරණ නිෂ්ක්‍රීය කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරන පරිදි, මෙම පිපිරීම සිදුව ඇත්තේ සිකුරාදා (01) දින සැන්ජාන් නගරය ආසන්නයේ පිහිටි යුදෝපකරණ සහිත කලාපයක් පිරිසිදු කරමින් සිටියදීය.
සැන්ජාන් හි පිහිටි IRGC ‘අන්සාර් අල්-මහ්දි’ ඒකකය සඳහන් කළේ, හඳුනා නොගත් බෝම්බයක් පුපුරා යාමෙන් මෙම විනාශය සිදුව ඇති බවයි. මියගිය පිරිස අතර එම බලකායේ අතිශය පළපුරුදු සහ විශේෂ පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන් කිහිපදෙනෙකුම සිටින බව වාර්තා වේ. මෑතකදී සිදුවූ ගුවන් ප්‍රහාරවලදී භාවිත කළ පොකුරු බෝම්බ සහ බිම් බෝම්බ මෙම ප්‍රදේශයේ විසිරී තිබෙන්නට ඇතැයි සැක කෙරේ.
පසුගිය අප්‍රේල් 08 වනදා ප්‍රකාශයට පත් කළ සටන් විරාමයෙන් පසුව ඉරාන ආරක්ෂක අංශ වෙත එල්ල වූ විශාලතම ජීවිත හානිය මෙය ලෙස සැලකේ. යුද්ධය අවසන් වුවද, ඉතිරිව පවතින යුදෝපකරණ තවදුරටත් දැඩි අවදානමක්ව පවතින බව මෙමගින් මනාව පැහැදිලි වේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුව, සටන් විරාමයෙන් පසුව මේ දක්වා ප්‍රදේශය පුරා විසිරී තිබූ නොපිපිරුණු යුදෝපකරණ 15,000කට අධික ප්‍රමාණයක් නිෂ්ක්‍රීය කර ඇත.
2026 පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ තෙහෙරානය ඇතුළු නගර කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාරත් සමඟ මෙම යුදමය තත්ත්වය ආරම්භ විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායල භූමියට සහ කලාපයේ පිහිටි ඇමෙරිකානු මර්මස්ථාන වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලදී.
අප්‍රේල් 08 වනදා සටන් විරාමය ප්‍රකාශයට පත් කරන තෙක් දෙපාර්ශ්වයටම දැඩි දේපළ හා ජීවිත හානි සිදුවූ අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.
මෙම නොපිපිරුණු බෝම්බ හමුදා සාමාජිකයන්ට මෙන්ම සිවිල් වැසියන්ට ද තවමත් බරපතල තර්ජනයක් බව බලධාරීහු අනතුරු අඟවති.







