හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් ප්රකාශයක් දීමට ඔහු දිවුරුම් පෙස්සමක් මගින් දීර්ඝ කාලයක් ඉල්ලා සිටියත් එවැනි කාලයක් ලබාදිය නොහැකි බව දන්වමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමක් කර ඇත.
සති දෙකක කාලයක් ඇතුළත වත්කම් බැරකම් ප්රකාශය ලබාදිය යුතු බව සඳහන් කරමින් ඉකුත් අඟහරුවාද ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන් බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම ප්රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් පසුගිය දහවැනිදාට පෙර ලබා දෙන ලෙස කොමිෂන් සභාව ඔහුට දැනුම් දී තිබිණි.
මෙම දැනුම් දීමට අනුව හිටපු ජනාධිපතිවරයා නීතීඥයකුගේ මාර්ගයෙන් දිවුරුම් පෙත්සමක් කොමිසම වෙත ඉකුත් නවවැනිදා භාර දෙමින් ඉල්ලීමක් කර තිබුණේ දේපළ හා වත්කම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා වාර්තාවක් ලබා දීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් ඒ සඳහා දීර්ඝ කාලයක් ලබා දෙන ලෙසය.
හිටපු ජනාධිපතිවරයා දිවුරුම් ප්රකාශයක් මගින් නීතීඥයකුගේ මාර්ගයෙන් එවා තිබූ එම ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ උසස් නිලධාරීන් පසුගියදා සාකච්ඡා කර මෙවැනි තීරණයක් ගෙන ඇතැයි ද එම කොමිෂන් සභා ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.
මෙම දිවුරුම් ප්රකාශය ලබා ගැනීමට නියමිතව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සහ බැරකම් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව බවද කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් දැන ගැනීමට තිබේ.







