පසුගිය 25 වනදා හිරිපිටියාගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් විවාහක යුවළක් රෝහල්ගත කර තිබේ.
මෙම පහරදීම ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ගයාන් අධිකාරී මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ බවට වින්දිතයින් චෝදනා කරයි.
අලුත්පුලියන්කුළම, විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම යුවළට එල්ල වූ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් ඔවුන් මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මුලින් කැකිරාව රෝහලට ඇතුළත් කළ ද, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ලට මාරු කර යවා ඇත.
රෝහල් ආරංචි මාර්ගවලට අනුව තුවාල ලැබූ කාන්තාව කනෙන් රුධිරය වහනය වීම හේතුවෙන් දැඩි පරීක්ෂාවට ලක්ව ඇත. පුරුෂයා අතක සන්ධියක් බිඳී ගොස් ඇති අතර හිසට සහ පාද ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතළ තුවාල සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය මෙන්ම පහරකෑමට ලක්වූ පාර්ශ්වය ද ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත. මේ වන විට පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.