යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද, ජනතාවගේ හදවත් තුළට තවමත් සාමය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේද යන්න ගැටලුවක්ව පවතින බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මන්නාරම දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරිය පෙන්වා දුන්නේ යුද්ධය ආරම්භ වූයේ සාමාන්‍ය ජනතාවගෙන් විමසා නොවන නමුත්, එහි ප්රතිවිපාකයක් ලෙස ඇති වූ ජාතිවාදය සහ ප්රචණ්ඩත්වය හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ කාන්තාවන් බවයි.
යුද්ධය පැවති සමයේ ජනතාව බෙදා රටේ බලය අල්ලාගත් පිරිස අදටත් ඉතා සැපවත් ජීවිත ගත කරන අතරතුර, එදා බෙදී වෙන් වූ සාමාන්‍ය ජනතාව අදටත් දුක් විඳින බව ඇය අවධාරණය කළාය.
ජාතිවාදී බලවේගවල උත්සාහය වත්මන් රජය ජාතිවාදයට එරෙහිව ප්‍රබල සටනක් ගෙන යන බවත්, එසේ වුවද ඇතැම් දේශපාලන බලවේග තවමත් බලය ලබාගැනීමේ එකම මාවත ලෙස ජාතිවාදය සහ අසමගිය ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අගමැතිනිය මෙහිදී අනාවරණය කළාය.
“ඒ අයට දූෂණය නැති කරන්න ඕනේ නැහැ, ප්රජාතන්ත්රවාදය ඇති කරන්න ඕනේ නැහැ, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම වැදගත් නැහැ. මිනිසුන්ගේ ආර්ථිකය ගැන ඒ අයට වැදගත්කමක් නැහැ,” යනුවෙන් ඇය සඳහන් කළාය.
බලය අවශ්‍ය වී ඇත්තේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොව, තමන්ගේ ජීවිත පොහොසත් කරගැනීමට පමණක් බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරිය, එවැනි බලවේග ජනතාව අතර නැවත අසමගිය ඇති කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියාය







