6
වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකා භූමියේදී තරග වැදුණු පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති 15 සාමාජික පළමු තරගයෙන් ලකුණු 50-10ක ජයක් නවසීලන්තයට හිමි විය.
නවසීලන්ත පිල තරගය පුරා උත්සාහක දිනුම් 8ක් තැබීමට සමත්වූ අතර, ඉන් 5ක්ම ගෝල බවට පත්විය. ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක් සහ දඬුවම් පහරක් ඇතුළත් විය. තරගයේ 18 වැනි මිනිත්තුවේදී දහන් වික්‍රමආරච්චි ශ්‍රී ලංකා පිලේ එකම උත්සාහක දිනුම තැබූ අතර, එය ගෝලයක් බවට පත් කළ නායක නයිජල් රත්වත්ත ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුවට දඬුවම් පහරක් ද එක් කළේය.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ මේ තරගයේ පළමු භාගය නිමා වනවිට ලකුණු 26-7කින් පෙරමුණ ගත් නවසීලන්ත පිල තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වුවද, ශ්‍රී ලංකා පිල ද සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරතවීම කැපී පෙනිණි. දෙපිල අතර 15 සාමාජික දෙවැනි තරගය ලබන 10 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
නයිජල් රත්වත්තගේ නායකත්වය යටතේ විමුක්ති ගමගේ, ෂාමික කෞෂාන්, තනූජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිලාර්, ළහිරු තිලකරත්න, දහන් වික්‍රමආරච්චි, මොහොමඩ් රිෆාන්, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, ශාහිඩ් සුම්රි, ජයතු රාජරත්න, පසිඳු බණ්ඩාර, වෙනුර කෝදාගොඩ, ජනිඳු ප්‍රනාන්දු, හාෆිස් තාබිත්, සෙනුර පෙරේරා, චතුර සොයිසා, දිනේෂ් ද සිල්වා, සුදේශ් ජයවික්‍රම, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිරෝෂ් පෙරේරා සහ තෙනුක නානායක්කර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ.
ෆවුස් මොහොමඩ්
ඡායාරූප – සුලෝචන ගමගේ







