Home Sport News Room : 14 හැවිරිදි සූර්යවංශිගෙන් විස්සයි20 ලෝක වාර්තාවක්

News Room : 14 හැවිරිදි සූර්යවංශිගෙන් විස්සයි20 ලෝක වාර්තාවක්

0
0

අයිපීඑල් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව පෙරේදා පැවති තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කළ රාජස්තාන් රෝයල්ස් පිලේ ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි එතෙක් මෙතෙක් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව අත්කර ගත්තේය.

අවුරුදු 14ක් සහ දින 32ක් වයසැති මේ ළාබාල පිතිකරුවා බිඳ දමනු ලැබුවේ වසර 2013දී මහාරාස්ට්‍ර පිල වෙනුවෙන් මුම්බායි පිලට එරෙහිව විජේ සෝල් තැබූ ලෝක වාර්තාවය. එම තරගාවලියේදී මුම්බායි පිලට එරෙහිව ශතකයක් රැස් කරන විට විජේගේ වයස අවුරුදු 18කුත්, දින 118ක් විය.

පසුගිය වසරේ අගභාගයේ සවුදි අරාබියේ ජෙඩා නුවර පැවති මෙවර අයිපීඑල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් එක්කෝටි දසලක්ෂයකට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි අසූලක්ෂයකට) රාජස්තාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගනු ලැබූ බිහාර් ප්‍රාන්තයේ මේ කෝඩුකාරයා ඒ වන විට 13 හැවිරිදි වියෙහි පසුවූ අතර, අයිපීඑල් වෙන්දේසියට ඇතුළත් වූ සහ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා ලෙසත් වාර්තාපොතට ඇතුළත් විය.

පෙරේදා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 209ක් රැස් කළ අතර, රාජස්තාන් රෝයල්ස් පිල කඩුලු 2ක් පමණක් වැය කරමින් ඕවර 15.5කදී නියමිත ඉලක්කය සපුරාගනු ලැබුවේ වෛභව් සූර්යවංශිගේ පිතිහරඹය මතිනි.

යෂස්වි ජයිස්වාල් සමඟ එක්ව ඉනිම ආරම්භ කළ සූර්යවංශි ලකුණු 101ක් රැස් කළ අතර, ඔහුගේ ශතකයට හතරේ පහර 7ක් සහ හයේ පහර 11ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් දුන් ජයිස්වාල් ද පන්දු 40කින් ලකුණු 70ක් රැස් කළ අතර, දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 166ක් එක් කරනු ලැබුවේ ඕවර 11කුත්, පන්දු 5කිනි. සිය ඉනිම අතරතුර සූර්යවංශි පළමු වරට අයිපීඑල් තරගයකට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නා වූ කරිම් ජනාට් විසින් යවනු ලැබූ ඉනිමේ 10 වැනි ඕවරයේදී ලකුණු 30ක්ම උදුරා ගැනීමට සමත්වීම කැපී පෙනිණි. එම ඕවරයේදී ඔහුගේ ලකුණු රැස් කිරීම සටහන් වූයේ 6,4, 6,4,4,6 ලෙසිනි.

පන්දු 35කදී සිය කුළුඳුල් ශතකය වාර්තා කළ සූර්යවංශි අයිපීඑල් පිටියේ වේගවත්ම දෙවැනි ශතකයේ වාර්තාවට ද හිමිකම් කීමට සමත් විය. එම වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ වසර 2013 තරගාවලියේදී පූනේ වොරියර්ස් පිලට එරෙහිව පන්දු 30කින් ශතකය සම්පූර්ණ කළ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලේ ක්‍රිස් ගේල් විසිනි. එමෙන්ම අයිපීඑල් පිටියේ ඉන්දීය පිතිකරුවකු රැස් කළ වේගවත්ම ශතකයේ වාර්තාව ද සූර්යවංශිට හිමි විය.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here