Home Politics News Room : අපි බලය නැතුවත් වැඩ කර පෙන්වූ පක්ෂයක්

News Room : අපි බලය නැතුවත් වැඩ කර පෙන්වූ පක්ෂයක්

0
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන සමගි ජන බලවේගයේ මුදල් ප්‍රතිපාදන යටතේ පවත්වාගෙන යන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයට මාතලේ, ලග්ගල ආසනය වෙනුවෙන් තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමට නාඋල අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ පසුගියදා (27) පැවැති ජනහමුවකට එක් වෙමිනි.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් මේ ජනහමුව සංවිධාන කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.

“සෑම පළාත් පාලන ආයතනයක්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන කොට අපි ගම්මට්ටමින් සිවිල් කමිටු පිහිටුවා රජයේ නිලධාරීන් මෙන්ම පොලීසියේ සහායෙන් ඒවා ක්‍රියාත්මක කරනවා. අද අපරාධ කල්ලි අලුත් උපක්‍රම යොදාගෙන මිනී මරනවා. එසේ නම් අපි ජනතාවත් බද්ධ කර ගත් ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂණ වැඩපිළිවෙළක් යටතේ ආරක්ෂක අංශවලට උපරිම සහාය දෙන්න ඕනේ.

වර්තමාන රජය බොහෝම ප්‍රසිද්ධයි බොරු කියන්න. ඇත්ත වශයෙන්ම පෙර පාසල් දරුවන් පවා දන්නවා, මේ ආණ්ඩුව බොරු කියන ආණ්ඩුවක් කියලා.

මොහොතකට හිතලා බලන්න, උපාධිධාරීන් තිස්පන්දහසකට රැකියා දෙනවා කිවුවා. බඩු මිල අඩු කරනවා කිවුවා. අද හාල්, කිරි පිටි මිල ඉහළ ගිහින් පොල් ගෙඩියක් හොයාගන්න බෑ. රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාව සපුරන්න බැරි ආණ්ඩුවක්. පාසල් උපකරණ වගේම අත්‍යවශ්‍ය උපකරණවල වැට් එක ඉවත් කරනවා කිවුවා. ඒකත් බොරුවක්. වගා කටයුතු ආරම්භ කරලත් පොහොර සහනාධාර නෑ. අපි නම් කිවුවා, සියලුම වගාවලට පොහොර සහනාධාර දෙනවා කියලා. වන අලි ගැටලුවට විසඳුම් නෑ. දේපොළ හානිවලට ආපදා තත්ත්වයන් යටතේ හානි වූ වගාවලට සහනාධාර ලැබුණද? පොරොන්දු වුණේ නම් දෙන සහනාධාරය ලක්ෂයක් කරනවා කියලා.

බලයට ආ ගමන් නියෝගයක් දුන්නා, මාස හයකට විදුලි බිල අඩු කරන්නේ නෑ කියලා. ජනතාව ප්‍රශ්න කරන්න ගත්තා, විදුලිබල මණ්ඩලය ලාභ ලබනවා නම් ඇයි ඒ සහනය දෙන්නේ නැත්තේ කියලා. ජනතාව මහජන උපයෝගිතා කොමිසමට ගිහින් කළ බලපෑමට තමයි විදුලි බිල අඩු වුණේ.

මම මේ වෙලාවේ කියනවා, ඔබ ප්‍රතිපාදන දුන්නත් එකයි ජනාධිපතිතුමනි, සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවල අපි අපේ ප්‍රතිපාදනවලින් ජනතා සේවය ඉටු කරනවා කියලා. අපි ඔප්පු කර තියෙනවා බලය නැතිව ජනතාවට වැඩ කරලා. අනිත් පක්ෂවලට එහෙම කියන්න බෑ. මේ මාතලේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන හතරම සමගි ජන බලවේගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා පමණක් නෙවෙයි, දඹුල්ල, රත්තොට, මාතලේ ආසනවලත් පළාත් පාලන බලය පිහිටුවන්නේ සමගි ජන බලවේගය කියලා අපි මේ වෙලාවේ කියනවා.”

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,

“අපි ළඟ මැතිවරණ දෙකක් කළා. හැබැයි මේ මැතිවරණය තමයි ආණ්ඩුවට තීරණාත්මක මැතිවරණය වෙන්නේ. ආණ්ඩුවේ පච දේශපාලනයට අපි විරුද්ධයි කියන සංඥාව දෙන්න පුළුවන් වෙන්නේ එළැඹෙන හයවෙනිදාට අපි දෙන කතිරයෙන්.

එක පෑන් පහරින් වී මාෆියාවට තිත තියනවා කිවුවා. අද වෙනකොට කරලා තියෙන එකම දේ එක පෑන් පහරින් වී මෝල් හිමියන්ට රුපියල් දහයක් වැඩි කර දුන් එකයි. ඊළඟට පොහොර සහනාධාරය. පහසු මිලට පොහොර දෙනවා කිවුවා. මම හිතුවා, ගොවීන් මේ තරම් අපහසුතාවට පත් කරන්නේ ඇයි කියලා.”

කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

“මේ අය කිවුව එකක් තමයි, අවුරුදු හැත්තෑ හයක සාපය. මෙහෙම එකක් තිබුණද? නෑ එහෙම දෙයක් නෑ. නමුත් රටේ ඇති වෙලා තිබු ආර්ථික කඩා වැටීමත් එක්ක මිනිස්සු විශ්වාස කළා මේ කියන්නේ ඇත්ත කියලා. අන්තිමට රජ්ජුරුවෝ එළවන්න වැඩපිළිවෙළක් ලෑස්ති කළා. හැබැයි ජනතාව කල්පනා කළේ නෑ රජ්ජුරුවෝ එළවලා කාවද ගේන්නේ කියලා.”

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක, නීතිඥ චම්පික විජේරත්න, සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් කළමනාකරු අබේරත්න බණ්ඩාර, ලග්ගල, අඹන්ගඟ කොරළේ, නාඋල ඇතුළු ලග්ගල ආසනයේ සියලු පළාත් පාලන ආයතන මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු පාක්ෂිකයෝ සහභාගී වී සිටියහ.

නාඋල සමුහ සහ උකුවෙල සංචාරක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here