Home Sport News Room : සංගීත කණ්ඩායම් 22ක්-ගායකයෝ 60ක් පපරේ ශිල්පීහු 53ක් සමඟ එකම...

News Room : සංගීත කණ්ඩායම් 22ක්-ගායකයෝ 60ක් පපරේ ශිල්පීහු 53ක් සමඟ එකම සැණකෙළියක්

5
0

ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා‌ වෙයි. කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවූ තරගයේ පළමු ඉනිමේ නාලන්දාව ඉදිරියෙන් සිටි අතර දින තුනේදීම වර්ෂාවෙන් බාධා ඇතිවීම තරගයේ ප්‍රතිඵලයට බාධා ගෙන දුන්නේය.

කාසියේ වාසිය දිනාගත් නාලන්දාව මුලින් පන්දුවට පහරදීමට ආනන්දයට ආරාධනා කළ අතර, පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 324ක් රැස්කර ඉනිම අත්හිටුවීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස්කර ඉනිම අත්හිටුවූ අතර, දෙවැනි ඉනිම ඇරඹූ ආනන්ද විදුහල තෙවැනි දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස් කරගෙන සිටියේය.

තම 19 වැනි උපන් දිනයදා ශතකයක් රුස් කළ දිනද අතලගේ ආනන්ද – නාලන්දා මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කළ සිවුවැනි පිතිකරු බවට පත් වෙමින් පන්දු 288කදී ලකුණු 131ක් ලබා ගැනීම කැපී ‍පෙනිණි. එමෙන්ම නාලන්දාව වෙනුවෙන් නදුල් ජයලත් පන්දු 192කදී ලකුණු 111ක් ලබා ලකුණු පුවරුව ඉහළට එසැවීය.

එලෙස දක්ෂතා දැක්වූ නාලන්දාවේ නදුල් ජයලත් හොඳම පිතිකරු සම්මානය දිනාගත් අතර, හොඳම පන්දු යවන්නා ලෙස ආනන්දයේ ශාරද ජයරත්න සම්මාන දිනා ගත්තේය. හොඳම පන්දු රකින්නා ලෙස නාලන්දාවේ තිසර දෙව්දුනු හා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා හා තරගයේ වීරයා ලෙස ශතකයක් හා උඩ පන්දු දෙකක් රැකගත් දිනද අතලගේ සම්මානය හා යතුරුපැදිය දිනා ගත්තේය.

සංගීත කණ්ඩායම් 22ක් ගායක ගායිකාවෝ 60ක් හා පපරේ ශිල්පීහු 53ක් පමණ සහභාගිවූ මේ මහා ක්‍රිකට් තරගය සැණකෙළි ස්වරූපයක් ඉසිලීය. දීර්ඝ ඉතිහාසයක් ඇති මේ තරගය 1924 වර්ෂයේදී ආරම්භ වූ අතර, ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනු‍වෙන් පැවැත්විණි.

සුලෝහිත සංග්‍රාමය වාර්ෂිකව 94 වතාවක් පැවති අතර, එයින් තරග 12ක් ආනන්ද විදුහල හා තරග 7ක් නාලන්දා විදුහල ජය හිමිකර ගත්හ. ආනන්ද විදුහල 2003 වසරේදී ඩී. කුලරත්නගේ නායකත්වයෙන් හා නාලන්දා විදුහල 2022 වසරේදී දිනෙත් සමරවීරගේ නායකත්වයෙන් අවසන්වරට ජය වාර්තා කර ඇත.

ආනන්ද විදුහල් පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 324 (ඕවර 92.2) දිනද අතලගේ 131, කෙනුල ද සොයිසා 73, නෙතුල එදිරිමාන්න 49, කිත්ම විදානපතිරණ 32 (පුන්සර රාජකරුණා 69/2, ඔසඳ පමුදිත 80/2)

නාලන්දා විදුහල් පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 325 (ඕවර 88.5)

නදුල් ජයලත් 111, සදෙව් සමරසිංහ 40, නෙමිඳු අක්මීමන 43 (ශාරද ජයරත්න 58/4, අශිංස නයිනායක 53/1)

ආනන්ද විදුහල් ‍දෙවැනි ඉනිම කඩුලු 1කට ලකුණු 27 (ඕවර 7) දනුල එදිරිමාන්න නොදැවී 18.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here