Home Sport News Room : ශ්‍රී ලංකා ගුවන් හමුදා 26වැනි පාපැදි සවාරිය සාර්ථකව අවසන්...

News Room : ශ්‍රී ලංකා ගුවන් හමුදා 26වැනි පාපැදි සවාරිය සාර්ථකව අවසන් වෙයි

4
0

ශ්‍රී ලංකා ගුවන් හමුදා 74වන සංවත්සරයට සමගාමීව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව අඛණ්ඩව 26 වන වරටත් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරිය දෙස් විදෙස් තරගකරුවන් 175 ගේ පමණ සහභාගිත්වයෙන් 2025 පෙබරවාරි මස 28වැනිදා උදෑසන වීරවිල ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භවිය.

පුරා දින තුනක් පැවති සමස්ථ පිරිමි පාපැදි තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රි ලංකා පොලිස් පාපැදි කණ්ඩායමේ චමෝද් ද සිල්වා (පැය 09 මිනිත්තු 13 තත්පර 52) හිමිකරගත් අතර දෙවන ස්ථානය ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ සඳරුවන් පිංතු (පැය 09 මිනිත්තු 13 තත්පර 58) හිමිකරගත්තේය. ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ හරිඳු මීමනගේ (පැය 09 මිනිත්තු 15 තත්පර 21) තෙවැනි ස්ථානයට හිමිකම් කියන ලදි.

ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා තරගයද 2024 මාර්තු මස 02 වන දින මීරිගම සිට ගාලුමුවදොර ‘Galle Face‘ දක්වා කි.මී 98 ක දුරක් පැවැත්තු අතර මෙවර තරඟයේ ශුරතාවය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි (පැය 2 මිනිත්තු 37 තත්පර 53) හිමිකරගත් අතර අනුශුරතාවය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පංචාලි සුලෝචනා (පැය 2 මිනිත්තු 37 තත්පර 53) විසින් හිමිකරගන්නා ලද අතර තෙවැනි ස්ථානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සුදාරිකා ප්‍රියදර්ශනී (පැය 2 මිනිත්තු 37 තත්පර 53) විසින් දිනා ගන්නා ලදි.

ගුවන් හමුදා පිරිමි පාපැදි සවාරියේ සමස්ථ කාණ්ඩායම් ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර, අනු ශුරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම දිනා ගැනීමට සමත්විය.

කාන්තා පාපැදි සවාරියේ සමස්ථ කාණ්ඩායම් ශුරතාවය ගුවන් හමුදා කාන්තා පාපැදි කණ්ඩායම විසින් දිනාගත් අතර, අනු ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පාපැදි කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා ත්‍යාග හා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here